කැළණි විහාරයේ බෝධිය යට පිහිටි නාග ලෝකයට යන අභිරහස් දොරටුවේ කතාව

බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පූජනය වීම සනිටුහන් කරන්නට ඉදි වුණු කැළණි විහාරයට ඉතාම දීර්ඝ වගේම අලංකාර ඉතිහාසයක් තිබෙනවා. අද වන විට කොළඹ අවට පිහිටි ප්‍රධානතම පන්සල් කිහිපයෙන් එකක් තමයි කැළණිය විහාරය.

කැළණිය විහාරය ඉදි වීම පිළිබඳ ඉතිහාස කතාව බොහෝ දෙනෙක් දන්නවා. නාග ගෝත්‍රිකයන් අතර ඇති වෙන්නට ගිය මහා යුද්ධය සමනය කිරීමට කෘතඥතාව පළ කිරීමක් වශයෙන් මනි අක්ඛික නා රජතුමා කළ ආරාධනාවකට අනුව බුද්ධත්වය ලබා අට වන වසරේදී බුදුන් කැළණියට වැඩම කළා. එහිදී බුදුන් වහන්සේ නාග ගෝත්‍රිකයන් උදෙසා ධර්ම දේශනාව සිදු කළ ස්ථානයේ තමයි කැළණි විහාරය ගොඩ නැංවුණේ. මෙහි පූජනීයත්වය තවත් ඉහළ නංවමින් ශ්‍රී මහා බෝධියෙන් පැන නැගුණු අංකුර අටෙන් බිහි වූ එක් අෂ්ඨ ඵලරූහ බෝධීන් වහන්සේ නමකුත් කැළණි විහාරය තුළ රෝපණය කෙරුණා.

කොහොම නමුත් මේ බෝධීන් වහන්සේ රෝපණය කර තිබෙන්නේ එකල නාග ලෝකය සහ මෙලොව අතර දොරටුව තිබුණු තැන ආවරණය වන විදිහට බව දන්නවාද? සාමාන්‍ය බෝධියකට වඩා ඉතාම ගැඹුරු සහ ශක්තිමත් පාදමක් මත මේ බෝධිය රෝපණය කර තිබීමම එයට හොඳ සාක්ෂියක්. පැති තුනකින් එන දිය පහර තුනක් එක්ව සකස් වුණු මේ නාග ලෝකයට යන දොරටුව නාග ලෝකයත්, මනුෂ්‍ය ලෝකයත් අතර සංක්‍රමණ සිදු වූ ද්වාර ස්ථානයයි.

නාගයන් ගැන කතා කරනකොට ඔවුන් වර්ග කෙරෙන ආකාරය දැන සිටීමත් වැදගත්. නාග, දේව නාග, අර්ධ නාග සහ මනු නාග ලෙස නාග කුල හතරක් තිබෙනවා. නාග ලෝකයේ සිටින්නේ මෙයින් නාග කුලය පමණයි. දේව නාගයන් දිව්‍ය ලෝකය තුලත්, මනු නාගයන් මනුෂ්‍ය ලෝකය තුලත් වාසය කරනවා. අර්ධ නාගයන් තමයි නාග ලෝකයත්, මනුෂ්‍ය ලෝකයත් අතර සංක්‍රමණය වෙමින් ජීවත් වුණේ. මනුෂ්‍ය ලෝකයට ආරක්ෂාව සැපයීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යභාරයක් වුණා. බුලත් ඇතුළු නාග ලෝකයෙන් පැමිණි ගස්වැල් ගෙන එන ලද්දේත් මෙසේ අර්ධ නාගයන් විසින් බවයි කියවෙන්නේ.

අර්ධ නාගයන් මනුෂ්‍ය ලෝකයට පැමිණෙන දොරටුව කැලණිය බෝධීන් වහන්සේ රෝපණය කිරීමත් සමග අවහිර කෙරුණා. මෙරටට බුදු දහම ලැබී බෞද්ධ සමාජයක් බිහි වීමත් එක්ක නාගයන්ගේ ආරක්ෂාව අවශ්‍ය නොවුණු නිසා එකල මනු නාග ගෝත්‍රිකයන් සමග ඇති වූ එකඟතාවක් මත මේ දොරටුව වසා දමන්න තීරණය වූ බවයි කියවෙන්නේ. මේ නිසා අද වන විට භෞතික ස්වරූපයෙන් කිසිදු නාග කුලයකට මනුෂ්‍ය ලෝකයට පැමිණෙන්න හැකියාවක් නැහැ. කොහොම නමුත් බෝධිය රෝපණය කරන විට ලැබුණු විශේෂ අවසරයක් මත චන්ද්‍ර මාසයේ 14,15,16 කියන තිථිවලදී මේ දොරටුව නාග ආත්ම සඳහා විවෘත වෙනවා. එවිට ඔවුන්ගේ මෙලොවට පැමිණ, කැළණිය පන්සලට වැඳුම් පිදුම් කර ආපසු යන බවයි කියවෙන්නේ.

අර්ධ නාගයන් මෙලොවට භෞතික වශයෙන් පැමිණීම නැවතී යාමත් එක්ක ඔවුන් සමග පැමිණි නාග කන්‍යාවන් සේවනයද නැවතී ගියා. අධික සරාගී බවකිනුත්, ඉහළ ලිංගික ශක්තියකිනුත් යුක්ත බව කියවෙන නාග කන්‍යාවන් එකල මනු නාග රජවරුන්ගේ සහ ප්‍රාදේශීය නායකයන්ගේ සේවනයට නිතරම යොදා ගැනුණා. කෙසේ නමුත් එය නැවතී යාම නිසා පසුව මෙලොව විසූ මනු නාගයන් පවා නාග නොවන ගෝත්‍ර සමග මිශ්‍ර වී තිබෙනවා. කොහොම නමුත් නාග ජාන වෙනත් මනුෂ්‍ය ගෝත්‍රවල ජාන හමුවේ ඉක්මනින්ම නෂ්ට වී ගියා.

මේ නිසා ගෙවී ගිය වසර 2000 කට අධික කාලය තුලදී නාග ගෝත්‍රිකයන් මෙරටින් තුරන්වම ගොස් තිබෙනවා. කෙසේ නමුත් කැළණිය බෝධිය යට පිහිටි දොරටුව අනාගතයේ විවෘත විය හැකි බවත්, සමහරවිට අනාගතයේදී මෙරට නැවතත් මනු නාග ගෝත්‍රයක් බිහි විය හැකි බවටත් සැක කළ හැකියි.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ගුප්ත දොරකින් වැසී පවතින පිදුරංගල යට ගිය කතාව

පිදුරංගල කියන්නේ සීගිරියට ආසන්නයෙම කිලෝමීටරයක් විතර දුරකින් තියෙන ශේෂ කන්දක්. සීගිරියට නැග්ගොත් හරි නැත්නම් ලගට ගියත් මේ තැන බොහොම ලේසියෙන් හදුනගන්න පුළුවන් මොකද සීගිරිය අයිති වෙන්න ශ්‍රී ලංකාවේ පහත රට තැනිතලාවට නිසා ඒ ආසන්නයේ තියෙන්නේ එකම කන්ද පිදුරංගල. සීගිරිය ගොඩනැගුවේ කාශ්‍යප රජතුමා කියලා පිලිගත්තට, සීගිරිය කියන්නේ ඊට වසර දහස් ගානකට කලින් ඉදලා යක්ශ ( රාවනා පරපුරේ ) ගෝත්‍රිකයන්ගේ වාසස්ථානයක් කියලා පිලිගැනීමකුත් තියෙනවා. පිදුරංගල ඉතිහාසය හුගක් පැරණි වෙන්න පුළුවන් කියලා කියන්න හේතුවක් තමයි; සීගිරි චිත්‍ර වල ඉන්නේ පිදුරංගල විහාරය වදින්න මල් අරන් යන කශ්‍යප රජතුමාගේ අන්තංපුරයේ කුමාරිකාවන් කියන එක.

ඊට අමතරව භික්ෂුන්ට වාසස්ථාන වුන ගල් ලෙන් රාශියක් තිබීම හා ඒවායේ කොටන ලද කටාරම් වලින් ( බ්‍රාහ්මීය අක්ශර වලින් ) මේ පුදබිම ක්‍රි.පූ 3 – 1 සියවස් දක්වා පැරණි ඉතිහාසයකට උරුම කියන බවට ලිඛිත සාක්ෂි සපයනවා. පිදුරංගල Google map එකේ බැලුවොත් ත්‍රිකෝණාකාර විදිහකට තමයි පෙනෙන්නේ. ඊට අමතරව පිදුරංගල Google map එකෙන් බලන්න බැරි වුනත් සීගිරියෙන් පිටට ආසන්න වශයෙන් ඒකම අගයක් තියෙන කෝණයකින් ( අංශක 21 ක විතර ) ආනතියක් තියෙනවා. මේක මුළු පෘෂ්ඨය පුරාම ඒකාකාරී වෙනවා. නමුත් බෑවුමේ උඩ කොටසට වෙන්න ටොන් 5,000ක විතර අඩමානයේ, ඒ කියන්නේ අපි දන්න විදිහට සතුරු ආක්‍රමණයකදී පෙරලන්න හදපු උගුලක ආකාරයේ ගලක් ස්ථාපනය කරලා තියෙනවා.

මේ ආනතියටම සමාන වුන නවීන දෙයක් ගැන හොයල බැලුවොත් අභ්‍යවකාශ වස්තු වලින් එන තරංග ග්‍රහණය කරන්න පාවිච්චි කරන රෙඩියෝ දුරදක්න ගැන සොයාගන්න ලැබෙනවා. ඔය ස්ථානයේ මේ ආකාරයේ තරංග ග්‍රාහකයක් / සම්ප්‍රෙශකයක් සවිකලා නම් ඒකෙන් සම්ප්‍රෙශණය / ග්‍රහණය කරන්න පුළුවන් පරාසය සොයන්න ඊට ලම්භකව අපි රේඛාවක් පෘතුවි පෘශ්ඨය දිගේ බොහෝදුරක් අදින්න පුළුවන්. මේ රේඛාව දිගේ ගියොත් අපිට හරි විශ්මිත දෙයක් බලාගන්න පුලුවන්..

මේ රෙඛාව ඊජිප්තුවේ ගීසා වල ‘පිරමීඩ’ අසලිනුත් , ඊට පස්සේ ක්‍රි.පූ යුගයේ ඉතා දියුණු ශිෂ්ඨාචාරයක්ව පැවතුණා වගේම ස්භාවික ව්‍යයසනයක් නිසා එක් රැයකින් මුහුදුබත් වුනා කියලා විශ්වාස කරන “ඇට්ලාන්ටික්” නගරය තිබුණායි කියා විශවාස කරන අත්ලාන්තික් සාගරයේ මුහුදු කලාපයෙනුත්, ඉන් අනතුරුව ලතින් ඇමරිකාවේ එම යුගයේම දියුණු ශිෂ්ඨාචාරයක්ව පැවතුණ ‘මායාවරුන්ගේ ශිෂඨාචරය’ ගොඩනැගුණ ප්‍රදේෂයෙනුත් ගමන් කරනවා. සමහර විටකදී සමකාලීන ශිෂ්ඨාචාර වුන මේ සියල්ලම සන්නිවේදනය කරන්න මේවගේ උපක්‍රමයක් පාවිච්චි කලාද කියන සැකයත් අපට මතුවෙනවා

ආගමික හා සංස්කෘතික විශ්වාසයන් වලට එහා ගිය ගැඹරු තාක්ෂණයක් විද්‍යාමාන වෙන නමුත් ඉතිහාසයේ ගුප්ත දොරින් වැසී තිබෙන, දැනුත් විවාදයට ගත් හැකි ‘පිදුරංගල’ ගැන සාකච්ඡාවට නැගේවා..

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

98% ක් ම නොදන්නා ධර්ම චක්‍රයේ ගැඹුරු අරුත මෙන්න

ධර්මය ගොනු කර, රථ රෝදයක ආකාරයෙන් ඉදිරිපත් කැරුණු සැලැසුම දක්වන ලිපියකි මේ. බුදු දහම සංකේතවත් කැරෙන මූලිකතම ලාංඡනය ධර්ම චක්‍රය යි. බුද්ධ – බෝසත් චරිත ප්‍රකට කිරීම සඳහා ක්‍රි.පූ. 3 වන සියවස වැනි ආදි යුගවලදී සිරිපතුල, චක්‍රය, ඇත් රූපය ආදිය භාවිත කළ බව සාන්චි – භාරුත් කැටයම් මගින් පැහැදිලි ය. ඒ යුගයේ චක්‍රය ධර්මයේ ආධිපත්‍යය ප්‍රකාශ කිරීමට අවශ්‍ය වූ ස්ථානවලදී ඉදිරිපත් කැරුණු බව මෞය¸ යුගයේ විශිෂ්ට කලා කෘති සේ පිළිගැනෙන සිංහ රූප සහිත ධර්මචක්‍ර ස්තම්බවලින් වටහාගත හැකි වේ.

අශෝක සමයට අයත් එකී සිංහ කුලුනුවල ශීර්ෂය ධර්මානුකූල පාලනය නිරූපණය සඳහා කොතරම් අපූරු දැ යි වටහාගත් ඉන්දීය දේශපාලනික පඬිවරුන්ට 1947දී ජාතික නිදහස ලබා ස්වෛරී – ස්වාධීන රාජ්‍යයක සංකේතය කුමක් විය යුතු දැ යි විමසන විට මේ අශෝක සිංහ කුලුනු හිස ඒ සඳහා ඉතා උචිත බැව් පෙනී ගියේ ය. ඒ අනුව ඉන්දීය කොඩියේ දැක්වෙන්නේ අශෝක ධර්ම චක්‍රය යි. පුරාණයේ සිට සිංහ රූපයෙන් පෙරපර දෙදිග සංකේතවත් කර ඇත්තේ තේජස, නිරවද්‍යතාව, තියුණු බුද්ධිය හා යුක්තිගරුක භාවය යි.

ඒ රූප අතර ධර්ම චක්‍රය නිර්මාණය කර, රාජ්‍ය ආඥාව චක්‍රයක් සේ භ්‍රමණය වෙමින් පැතිරී යන බවත්, එය ඒකාන්තයෙන් කායික හික්මීම, චෛතසික නිරවුල් බව හා ප්‍රඥාවෙන් තීරණ ගැනීම යන ගුණාංගවලින් සමන්විත වීමේ අවශ්‍යතාවත් සංකේතවත් කැරිණි. මෙයින් ප්‍රචණ්ඩ වූ ආධිපත්‍යය හෝ කුරිරු රාජාඥාව අනුමත නොවූ බව හා ධර්මය පදනම් කරගත් පාලනය පමණක් ම රජතුමා පිළිගත් බව පැහැදිලි වෙයි.

ධර්මාශෝක රජතුමා ධාර්මික රාජ්‍ය පිළිවෙතට හැරීම, මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ඇසුරු කිරීමෙන් වූ වෙනසක් බවත්, එතැන් සිට දිග්විජය අතැර ධර්ම විජය ආරම්භ කැරුණු බවත් පැහැදිලි කරුණකි. ස්මිත් වැනි බ්‍රිතාන්‍ය ඉතිහාසඥයන් පවා පිළිගෙන ඇත්තේ ධර්මාශෝක රජතුමා තරමට ධර්මිෂ්ට වූ වෙනත් රජ කෙනකු ගැන ලෝක ඉතිහාසයෙහි කියවා නැති බව යි.

බුදු දහමේ දියුණුවට හා ව්‍යාප්තියට සිදු වූ සේවාව සමඟ ධර්මානුකූල රාජ්‍ය පාලනයක් පවත්වාගෙන යෑමටත්, කූටෝපානයක් නොවූ සැබෑ සුහදතාවෙන් අසල්වැසි රාජ්‍යයන් සමඟ සබඳතා පවත්වාගැනීමටත් අශෝක රජු දැක්වූ උනන්දුව එතුමාගේ සැබෑ ධාර්මිකත්වය පිළිබිඹු කිරීමක් බව සෑම ඉතිහාසඥයකු ම පිළිගෙන ඇත. මේ රජු ධර්මය බලයක්, ශක්තියක් බව හා එය චක්‍රාකාර ව සංසරණය වන බව පිළිගෙන තිබේ. ඒ බව කාලිංග ගිරි ලිපිය ඇතුළු ශිලා ලිපි ගණනාවකින් ම පැහැදිලි කැරේ.

ධර්ම ශක්තිය චක්‍රාකාර බවත්, එය ජීවිතයේ සෑම අවස්ථාවක ම සංසරණය විය යුතු බවත් පැහැදිලි කළේ බුදු රජාණන් වහන්සේ ප්‍රථම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රය මගිනි. මෙම පළමු දේශනාව පවත්වා ඇත්තේ බුද්ධත්වයෙන් මාස දෙකහමාරක පමණ කලකට පසු ව ය.

බුදු බව ලැබීමෙන් පසු පළමු සතිය ධර්ම මනසිකාරය සඳහා (අවබෝධ කරගත් ධර්මය මුල සිට අගටත්, අග සිට මුලටත් සිහිපත් කිරීම), බුද්ධ ඤාණ පරීක්ෂාව (බුද්ධත්වය හා උපන් ඤාණ සම්භාරය එකිනෙක අත්හදා බැලීම) යන දෙකරුණට ගත විණි. අනිමිසලෝචනය, රත්නචංක්‍රමණය ආදි වූ සතිවලින් අවසන් සත්වැන්න ගයාවට ආසන්නයේ වූ කිරිපලු රුක් සෙවණේ සමාධි සුවයෙන් කල් ගෙවා ඇත.

සත්වන සතිය අවසන නැගී සිටි තථාගතයන් වහන්සේ, යළිත් එළු රංචු බොහෝ සෙයින් ලැග සිටින අජපල් නුගරුක මුලට වැඩ, “මා අවබෝධ කරගත් ධර්මය ලොවට ඉදිරිපත් කරන්නේ කෙසේ ද?” යනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළක අවශ්‍යතාවට යොමු වූහ. මේ වන විට බුද්ධත්වයෙන් මාස දෙකක පමණ කාලයක් ගත ව තිබිණි. නේරංජා නදී තීරය, ගයා වන ළැහැබ අතර වූ සිහිල් රම්‍ය ප්‍රදේශයේ හුදෙකලා වීම මුන් වහන්සේට ප්‍රයෝජනවත් වූයේ නිසල ජලයෙහි පියුම් මතු වන්නාක් බඳු නැවුම් සිතිවිලි ධාරාඋපදවාගැනීම සඳහා ය.

මතු කරගත් මුතු – මැණික් සම්භාරය අර්ථවත් ව සමාජ ප්‍රයෝජනය සඳහා යෙදවීමට සැලසුම් කරන, ඒ සඳහා පිරිස කවුරුන් දැ යි තෝරන දානපතියකු සේ බුදුන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය කොතනක, කවුරුන්ගෙන්, කවර ආකාරයකින් ආරම්භ කළ යුතු ද? යනු නිශ්චය කරගැනීමට මේ නිසල හුදෙකලා කාලය ප්‍රයෝජනයට ගත්හ. කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජී යන පස්වග තවුසන්, තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මුලින් ම ශ්‍රවණයට යෝග්‍ය ශ්‍රාවකයන් ලෙස බුදු රජාණන් වහන්සේට අදහස් පහළ වූයේ දෙකරුණක් නිසා ය.

ඔවුහු බෝසතාණන් වහන්සේ අතිදුෂ්කර ව්‍රත සමාදානවල යෙදුණ සමයෙහි ඉතා සමීප ව ඇප-උපස්ථාන කළ පිරිස වූහ. බෝසතුන් රජගහ නුවරට අයත් මහ වන පෙදෙසින් නික්ම ගයාවට පැමිණෙන විට, දැඩි පිළිවෙත් නිවනට මග නොවන බව හැඳින ඒවා අතැර පිඬුසිඟා වැඩ, ලද ආහාරයක් අනුභවය පටන් ගන්නවාත් සමඟ මේ පස්දෙනා “සිදුහත් කුමරු වැරදි මගට පිළිපන්නේ යැ” යි කියමින් එතුමන් අතැර මහා ගංගාවෙන් ද එතෙර වී උතුරට ගමන් කර ප්‍රසිද්ධ ඉසිපතනයේ වාසය සඳහා පිටමං වූ හ.

බුද්ධත්වනේ පසු ඔවුන් ගැන සිහි කරනා විට බුදුන් වහන්සේට පෙනීගියේ, තමා අතැර ගිය ද ඔවුන් හිතකාමී, නිවැරදි පිරිසක් ලෙසට ය. එය පළමු කරුණ විය. දෙවැන්න වූයේ පස්වග තවුසන් නිවරද මගට ගැනීමේ යුතුකමක් ද තමා වෙත පැවරෙන බව ය. ඔවුන් පස්දෙනා බෝසතුන් දුෂ්කර ක්‍රියාවේ යෙදුණු මහ වනයට යවන ලද්දේ පියාණන් වූ සුදොවුන් රජතුමා විසිනි. අනතුරුවලින් වළකා තවස් දම් රැකීමට ආධාර වනු පිණිස එවූ මොවුන් වරෙක ආරක්ෂකයන් ලෙසින් ද, තවත් වරෙක උපස්ථායිකයන් ලෙසින් ද කළ කටයුතු සිහිපත් කළ එතුමන්ට පස්දෙනාගේ මූලිකයා වූ කොණ්ඩඤ්ඤ තමා ළදරු කල දේහ පරීක්ෂාවට පැමිණි බමුණු ගුරුන් අතර වූ ළාබාල වූ ද, “බුදු වනු විනා අන් කවරකට හෝ පත් නොවන බව“ ස්ථිර ව පැවසූ මහා නුවණැත්තා බව ද සිහිපත් විය.

බුදුන් වහන්සේ ඔවුන් සොයා ඉසිපතනයට යෑමේ දීර්ඝ ගමනට පිළිපන්හ. අතරමග මුලින් ම හමු වූයේ උපක ආජීවකයා ය. මොහු ද ශ්‍රමණ සම්ප්‍රදායට අයත්, ජීවිතාන්තය දක්වා ව්‍රත සමාදානයෙන් කල් ගෙවන පූජකවරයෙකි. ගසක් යට සෙවණේ සමීප ව හිඳ කතාබහට මුලපිරූ උපක “ඔබ කොහි යන්නහු ද? කවර ආචාර්යවරයකු ගුරු කොට කවර පිළිවෙතක පිහිටියක්හු ද?” ආදි ප්‍රශ්න රැසක් විමසා සිටියේ ය. “මම ධර්ම චක්‍රය පැවැත්වීමට ඉසිපතනය බලා ගමන් කරමින් සිටිමි” යනුවෙන් උන් වහන්සේ පිළිතුරු දීම ආරම්භ කළහ (ධම්මචක්කං පවත්තේතුං). බුද්ධ ධර්මය චක්‍රාකාර බව පැවසෙන මුල් ම අවස්ථාව මෙය වේ.

ධර්මය ගොනු කර, රථ රෝදයක රූපාකාරයෙන් ඉදිරිපත් කිරීම සඳහා බුදුන් වහන්සේ සැලසුම් කළේ බුද්ධත්වයෙන් අනතුරු ව දෙමාසයක් පමණ වූ කාලයක් නේරංජරා නදිය අසබඩ ගයා තීර්ථයේ වැඩ සිටි සමයේ ය. බුද්ධකාලීන භාරතීය නානා ආචාර්යවරු ඔවුන්ට ඉදිරිපත් කිරීමට අවශ්‍ය වූ සමාජ දර්ශන සංකේතාත්මක ව රූපාකාරයෙන් දැක්වීමේ සම්ප්‍රදායකට හුරු ව සිටි බව ප්‍රසිද්ධ කරුණකි.

ක්‍රි.පූ. 8 – 4 අතර කාලය භාරතීය ආගමික හා දාර්ශනික චින්තකයන් රැසක් පහළ වූ කාලයකි. අබ්‍රාහ්මණික සම්ප්‍රදායේ මතවාදීන් බහුල වීමත්, තරගයට මෙන් ඒවා ඉදිරිපත් කිරීමත් සිදු වන විට, ජනයාට ඒ අතර විශේෂතා හඳුනාගැනීම පහසු කරනු පිණිස රූපමය සංකේත භාවිතය අවශ්‍යතම කරුණක් සේ සැලකිණි.

මේ සම්ප්‍රදාය ක්‍රි.පූ. 2000ට පමණ ඉහත වූ මොහෙන්ජොදාරො – හරප්පා ශිෂ්ටාචාර යුගයේ පවා භාවිත වූවක් බව පිළිගැනේ. පශුපති, ජගන්මාතා, ලිංගපූජා ආදි වූ ඇදහිලි හා සම්බන්ධ සංකේත ඒ ආදි යුගයේ භාවිතා වූ බවට සාක්ෂි ඇත. වෙසෙසින් ඉන්දීය සංස්කෘතියෙහි මුද්‍රා හා සංකේත භාවිතය සුවිශේෂ ලක්ෂණයකි. ජෛන මහාවීර ආචාර්යතුමන්ගේ අනුගාමිකයෝ සුපිපි නෙළුම් මලේ සංකේතයට ප්‍රණාම දැක්වීමට පුරුදු ව සිටියහ.

ක්‍රි.පූ. 3 – 2 සියවස්වල නිර්මාණය වූ බෞද්ධ සංකේතවල ප්‍රධානත්වය දරන ධර්මචක්‍රය බුදුන් වහන්සේ විසින් “ධර්මචක්‍රය පැවැත්වීමට ඉසිපතනය බලා ගමන් කරමි”යි කරන ලද භාෂිතය අනුව ඉන් සියවස් දෙක හමාරකට පමණ පසුව අශෝක අධිරාජයාගේ උපදේශයට අනුව නිර්මාණය විය. බුදුරදුන් මේ පළමු දේශනාවට වඩින ගමනේදී මුලින් ම හමු වූ උපක ආජීවකට “ධර්මචක්‍රය ප්‍රවර්තනය” කිරීම සම්බන්ධ ව කළ අවධානාත්මක ප්‍රකාශයට සමීප දහම් බෙර ලැවීම (ධම්ම භේරිංබරාපේතුං) සඳහා යන ගමනක් බව හා දහම් වැසි වැස්සවීම (ධම්ම මේඝ) සඳහා වූවක් බව ද පවසා තිබේ. “දහම් අමාව ලොව ගලා යෑමට සලස්වා ඇත. සවන් දෝතින් ගෙන එය පානය කරත්වා!” යන ආකර්ෂණීය දැන්වීමක් ද කර තිබේ.

දහම් බෙර ලැවීම, දහම් වැසි වැස්සවීම, අමා ගඟ ගලා යෑමට සැලැස්වීම යන සන්නිවේදන අතිශය ජනකාන්ත වුව ද බහුජන ආකර්ෂණයට බෙහෙවින් පාත්‍ර වූ ප්‍රකාශනය ධර්මචක්‍රය ප්‍රවර්තනය නොහොත්, “ලෝවටා ධර්මය භ්‍රමණය වීමට සැලැස්වීම” යන්න ය. මෙයට හේතුව “චක්‍ර ප්‍රවර්තන” යනු චක්‍රවර්තී රජතුමාගේ ධර්මාධිපත්‍යය යන ඉපැරණි භාරතීය රාජ්‍ය සංකල්පය සමඟ එක් මාවතේ ගමන් කරන්නක් වීම ය. සිදුහත් කුමරු සක්විති රජ වීමේ වාසනා ගුණ සහිත වුව ද, එම ආධිපත්‍යය අතැරදැමුයේ අලුයම හෙළන කෙළපිඬක් සේ යැ යි ධර්ම සාහිත්‍යයේ දැක්වේ. උන් වහන්සේගේ ලුහුබැඳීම වූයේ භෞතික සම්පත් සාධනය මගින් ප්‍රජාව පිනවීම නො වේ.

තමා විමුක්තියට පැමිණ සත්ත්ව ලෝකයාට ද ඒ මග හෙළි කර ඔවුන් ද පරම සුඛයට පත් කිරීම ය. මේ සඳහා සියලු ලෞකික බැඳීම් අතැරදැමීම (අභිනික්මන), වනගත ව බවුන් වැඩීම මගින් සත්‍ය සෙවීම (වානප්‍රස්ථ) අවශ්‍ය ම මාර්ගය බව සලකා එය අනුගමනය කළහ. මේ මග එකල භාරතීය වියත් ජනයාගේ ජීවන සම්ප්‍රදායයක් බවට ද පත් ව තිබිණි. බොහෝ පුණ්‍ය – බල – ඤාණ සම්පත් සහිත වූ කුලපුතුන් ලෞකික සැපත හැරදා බවුන් වැඩුමට වනගත වූ බවට වාර්තා ඇත. සිදුහත් කුමරුන්ගේ ප්‍රවේශය ද එක් වියත් ඤාණගවේෂි ගණයට අයත් වුව ද විශේෂතාව වූයේ ඒ බොහෝදෙනා තමන් කිසියම් ආචාර්යවරයකුගේ අතවැස්සකු බවට පත් වීමෙන් සෑහීමට පත් වුව ද, මෙතුවක් ගමන්මගේ අතරක නොසිට පරම විමුක්තිය ලබාගැනීම සඳහා තමා ම මෙහෙයවීම ය. මෙතුමන්ට කාලාම ක්ෂත්‍රිය පරපුරට අයත් ආළාර හා උද්දක රාමපුත්‍ර තවුසන් දෙදෙනාගෙන් චෛතසික ශක්තියේ උසස් තලයට නැගීමට මාර්ගය පෑදිණි.

උද්දක රාමපුත්‍ර විඥානය මගින් ලෝකය අල්ලාගැනීම (භෞතික හා චෛතසිකමය වශයෙන්) සපුරා අතහරින නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාධිය දක්වා චිත්ත ශක්ති වර්ධනයේ මාර්ගය පහදා දී එහි ඵලාධිගමයට ද උපකාර වූ හ. එහෙත් බෝසතාණන් ක්ලේශ ප්‍රහාණය (සපුරා කෙලෙස් දුරු කිරීම) හා බුද්ධ ඤාණය මෙම තවුසන්ගේ ප්‍රතිපදාවෙන් අත් නො වන බව තියුණු නුවණින් දැන, නේරන්ජරා නදී තීරයේ බෝධි මූලයට පැමිණියේ එම දෙකරුණ සාක්ෂාත් කරගැනීම සඳහා ය. බෝධි මණ්ඩපයේදී, බෝසතුන් ක්ලේශ ප්‍රහාණයට (කෙලෙස් දුරු කිරීමට) සමතෙක් විය. ඒ කරුණ විසිතුරු උපමාවකින් දක්වා ඇත්තේ, දිගුකලක් තිස්සේ ගේ හදන වඩුවා සොයමින් සිටි කෙනකුට හදිසියේ ම ඔහු දැක හැඳිනගැනීමට ලද අවස්ථාවක් ලෙස ය.

වඩුවා තෘෂ්ණාව ය. සසර ගමනේ නවාතැන් ගැනීමට ගෙවල් හදන මොහු හැඳිනගැනීම යනු තෘෂ්ණාවත්, එහි කාර්යයත් අවබෝධ කරගැනීම ය. සංසාරය ද චක්‍රයකි. එයට ගමන් කරන වේග ශක්තිය ලබාදෙන්නේ ද තෘෂ්ණාව යි. ගෙවල් හදන වඩුවා – සංසාර චක්‍රය – එය භ්‍රමණය කරන ජව ශක්තිය, මේ සියලු උපමා හා සංකේත අන් කිසිවක් නොව, තෘෂ්ණාව ම බව පහදාගත් බුදු රජාණෝ එය නැති කිරීම සඳහා ශක්තිමත් වන්නේ ධර්මචක්‍රය බව බුද්ධ ඤාණයෙන් අවබෝධ කරගත්හ.

ධර්මචක්‍රය ගරාදි අටකින් යුක්ත ය. යහපත් දැක්ම, යහපත් සංකල්පනා ආදි වූ කරුණු අට කේන්ද්‍රගත ව ඇත්තේ සීල – සමාධි – පඤ්ඤා නම් වූ, කාය – වාක් සංවරය, චිත්ත සමාධිය හා අනිත්‍ය – දුක්ඛ – අනාත්ම වශයෙන් ලොව දෙස බලන ප්‍රඥාවෙන් යුක්ත වීම යන ශක්තීන් මත ය. මෙහි පැවැත්ම රථ චක්‍රයක ගරාදි බොස්ගෙඩියෙහි සවි වී තිබෙන්නාක් වැනි එකිනෙකෙහි ආධාරයෙන් පවත්නා ස්වභාවයක් බව වටහාගත හැකි ය. ගරාදි – බොස්ගෙඩිය, පට්ටම එකිනෙකින් වෙන් කළ හොත් රථ චක්‍රයක් නොපවත්නා සේ, ආර්ය මාර්ගයට අයත් කරුණු අටත් සීල – සමාධි – ප්‍රඥාවෙන් එකිනෙකින් වෙන් කළ හැකි නො වේ. මේ චක්‍රයේ පැවැත්ම, මෙහි සංචරණය සිදු වන්නේ රවුමට සවි කරන පට්ටම නිසා ය.

චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය – සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ආදි වූ ධර්ම කාරණා මෙම චක්‍රයට අන්තර්ගත වූ එහි පැවැත්ම ස්ථිර කරන්නා වූ අංගයෝ ය. මේ උත්තරීතර මානව ධර්මයේ සංයුතිය ලෞකික – ලෝකෝත්තර සුබ සාධනය අපේක්ෂා කරන බැවින් චාරිත්‍ර වාරිත්‍ර වැනි සුළු කරුණක පවා යහපත් බව (සම්මා) අපේක්ෂා කැරේ. ආර්ය ශ්‍රාවකයා සෑම ඉරියව්වකදී ම, නින්දේදී පවා සිහි එළවා සිටිය යුතු යැ යි අවධාරණය කර ඇත්තේ, යහපත් දැක්ම (සම්මා දිට්ඨිය) සමඟ ඇවිදීම – සිටගෙන සිටීම වැනි ඉරියව්වක පවා සබැඳියාවක් පවත්නා නිසා ය.

බෝමැඬදී අවබෝධ කරගත් ධර්මය, මානව ජීවන ප්‍රතිපදාවේ චාරිත්‍රයක් වැනි සුළු කරුණක් සමඟ ද සම්බන්ධය පැහැදිලි කැරෙන ඥාන මාර්ගයක් නිසා ධර්ම චක්‍රයක් බව වටහාගත් බුදුන් වහන්සේ එය මුල් වරට හෙළි කළ යුත්තේ යම් ධර්ම ශක්තියක් ඇති පිරිසක් ඉදිරියෙහි බව තීරණය කළහ.

පස්වග තවුසන් ඉසිපතනයෙහි වෙසෙන බව දැනගත් එතුමෝ උපක ආජීවක හමුවේදී ඉසිපතනය බලා ගමන් ගන්නා බව පැවසුවේ ඉහත සඳහන් බෞද්ධ ජීවන ප්‍රතිපදාව නොහොත් ධර්ම චක්‍රය ප්‍රවර්තනය සඳහා වන උද්යෝගීමත් ගමන ගැන ය. දීර්ඝ – දුෂ්කර චාරිකාවක් වූ එය, රෝහිත වස්තු, උරුවිල්වා කල්ප, අරුණාලය, සාරථිපුර පසු කර ගංගා නදියෙන් එතෙර ව බරණැස් නුවරට යොමු වී තිබිණි. ඒ ගමනේ රාත්‍රි නවාතැන්පළවල දී නව හඳක් පායා එන බව කිහිප දිනකදී ම දක්නට ලැබිණි.

ආසාළ්හ මාස (ඇසළ මස) පුරහඳ ශාස්ත්‍රීය වූ ද විමුක්ති දායක වූ ද ධර්ම දර්ශන ප්‍රකාශන සඳහා ආශීර්වාද ලබා දෙන බව භාරතීයයන්ගේ පිළිගැනීමකි. එහෙත් බුදුන් වහන්සේගේ අභිප්‍රාය වූයේ සුදුසු බිමක ම (යෝග්‍ය පිරිසක් ඉදිරියෙහි) ධර්මචක්‍රය ප්‍රවර්තනය කිරීම ය. කෙසේ නමුත් උන් වහන්සේ ඉසිපතනයට පා තැබුයේ ජන විශ්වාසය වූ ආශීර්වාදාත්මක ඇසළ පුන් පෝ දා ය. බුදුරදුන් පස්වග තවුසන් වෙත වඩිනු දුටු විගස කායික වශයෙන් උන් වහන්සේ ප්‍රභාස්වර ව සිටිනු දැක, සිද්ධාර්ථ ගෞතමයන් තපසින් ගිලිහී, පිහිට පතා අප වෙත එතැ” යි කල්පනා කළහ.

උන් වහන්සේට ආගන්තුක සත්කාර කිරීමට පවා මැළි වූ ඔවුන් බුදු හිමියන් තමන් වහන්සේ බුද්ධත්වයට පත් වූ වග කිහිප විටක් පැවසුව ද විශ්වාස නොකළ අතර, නව සොයාගැනීමක් ඇතැයි කියූ විට එය ද අවඥාවෙන් බැහැර කෙරිණි. “මා කිසිදා ඔබ බොරුවෙන් රවටා ඇද්දැ” යි අසා තමන් වහන්සේගේ සත්‍යවාදීත්වය අතීත ප්‍රවෘත්තිවලින් පවා ගෙනහැර පෑමට උන්වහන්සේට මෙහිදී සිදු විය.

කෙසේ නමුත් පස්වග තවුසෝ මුන් වහන්සේ කුමක් පවසනු ඇද්දැයි විපිළිසර වූවෝ හිර බසිමින්, සඳ නැෙඟමින් ඉසිපතනය මිශ්‍රවර්ණ සහිත ආලෝකයෙන් නැවුම් අසිරියකට පත් වන මොහොතෙහි තුරුගොමුවක් පසුබිම් කරගත් සහන් එළියක කථිකයාණන්ට අසුනක් පනවා ඒ වටා චක්‍රාකාර ව පත්කඩ එළා හිඳගත්හ.

බුදුන් වහන්සේට පස්වග තවුසන්ගේ හැසිරීම හොඳට හුරු ය. ඔවුන් මේ මොහොතෙහි කර ඔසවා නෙත් දල්වා තමන් වහන්සේ වෙත ආකර්ෂණය වී සිටින්නේ පිට වන හැම වචනයක් ම හොඳින් අසාගැනීමට හා විමර්ශනයට ය. සැඳෑ යාමයේ, දිනයට නියමිත අවසන් ගීතිකා මහ හඬින් ගයන කුරවි කෙවිල්ලෝ ද බිමට නැමුණු අතුපතරෙහි ලැග මේ අමුත්තාගේ හඬ ඇසීමට නිහඬ වූ හ. තවුසන් හා මිතුරු දමින් කල්ගෙවන හා- මුවපොව්වෝ ද බුලත් හපමින් ඇස් අයා කන් යොමා අසල තැන්පත් වූ හ.

පරිසරයට නෙත්හෙළූ කථිකයාණන්ට සඳ නැඟෙන මේ යාමයේ ධර්ම චක්‍රය දියත් කිරීමේ මොහොත පැමිණ ඇති බව පැහැදිලි විය. එදින දියත් වූ ධර්මචක්‍ර දේශනාව නිමා වූයේ ආරම්භයේදී බුදුනට අවනත නොවූ කොණ්ඩඤ්ඤ සෝවාන් පලයට පත් වීමෙන් හා ඉතිරි සිව්දෙනා බුදු සව්වන් බවට පත් වීමෙනි. එතැන් සිට අතිදීර්ඝ කාලයක් ලොව සැරි සරන ධර්මචක්‍රය මිනිස් ප්‍රජාව උතුම් සීලාචාර බවට පත් කිරීමෙහි සමත් විය. ඉදිරි කාලයේදී ධර්මචක්‍රයේ අනුහස වඩ වඩාත් ලෝකයට දැනෙනු ඇත.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ශ්‍රීපාදය වන්දනාවට පෙර මේ දේවල් අනිවාර්යෙන් දැනගන්න දැනගෙන වන්දනා කරන්න

උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් දැනගත යුතුම බොහෝ දේ මෙන්න Adams Peak ලංකාවේ බෞද්ධයින්ගේ පුජනීයත්වයේ කෙන්ද්‍රස්ථාන වලින් එකක් විදියට හඳුන්වා දෙන ශ්‍රී පාද කන්ද බෞද්ධයින්ගේ භක්තියේ මුදුන් මල්කඩ වෙලා තිබෙනවා.

1. ආරම්භය
සිරිපාද සමයේ ආරම්භය සනිටුහන් වෙන්නේ පැල්මඩුල්ලේ ගල්පොත්තාවෙල රජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සමන් දෙවියන්ගේ පිළිමය සහ දේවාභරණ පෙරහැරින් වැඩම කරවමින් සිරිපාද මළුවේ සමන් දෙවොලේ තැම්පත් කිරීම මගින්. ගල්පොත්තාවෙල පන්සලේ සිට සිරිපාද මළුවට දේව ප්‍රතිමාව රැගෙන යන අතරතුර අවට සිටින ගම්වැසියන් දෙවියන්ගේ පිළිමය රැගෙන යන රථ පෙරහරට පුජෝපාහාර දක්වන අතර මළුවට යන අතරමගදී කිහිප තැනකම පිළිගැනීම්ද සංවිධානය වෙනවා.මේ ආකාරයෙන් දෙවියන් ගේ පිළිමය වැඩම වූවායින් පසුව තමයි සිරිපා කරුණා සමය ආරම්භ වෙන්නේ. දෙසැම්බර් මස උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙන මේ සිරිපා කරුණා සමය මැයි මස වෙසක් පොහොය දිනයෙන් අවසන් වනවා.

2. පද්මේ වඳින්නට පෙර පිරිසිදුකම
ශ්‍රීපාදය වන්දනාවට පෙර සතියකට පෙර සිටවත් මස්මාලු කිලි වලින් තොරව ප්‍රවේසම් වෙමින්, ලක ලැහැස්ති වෙමින් මේ පූජනීය ගමනට සැරසීමේ ක්‍රමයක් අතීතයේ සිට පැවතුණා. වර්තමානය වෙනකොට ඒ වැනි දේවල් කෙමෙන් කෙමෙන් ගිලිහී යමින් පවතින අතර සිරිපා සමය කියන්නේ තවත් එක විනෝද චාරිකාවක් බවට පත් කරගත්තු අනුවණ අය ඕනා තරම් සිටිනවා.නමුත් අපි කියූ ඒ පැරණි පිළිවෙත් අනුගමනය කරමින්, හදවතින්ම පද්මයේ ආශිර්වාදය ලබා ගන්නට වෙර දරන අයගෙනුත් වන්දනා කාලයේ අඩුවක් වෙන්නේ නැහැ. මොනවා වුනත් කොයි කවුරුත් ශ්‍රී පාද මළුවට ගිහින් වැරදි වැඩ කරන්නේ නම් නැහැ. ඔවුන් ප්‍රාර්ථනා කරන්නේ ඔවුන්ගේ ජීවිත වලට යහපත් අරුතක් ගෙන එන්නට කියා පමණයි.

3. සිරිපාද වන්දනාව ගැන ඔබ මුලින් දැනගත යුතු කාරණා කිහිපයකුත් තියෙනවා පළවෙනි පාරට සිරිපාදේ යනවා නම් එයාව හඳුන්වන්නේ කෝඩුකාරයා කියලයි.කෝඩුකාරයින් වර්ග දෙකයි.ප්‍රථම වරට සිරිපා ගමන් කරන්නා වැඩිහිටියෙකු නම් “දඬුකෝඩු“.කුඩා දරුවෙකු හෝ දැරියක ප්‍රථම වරට ගමන් කිරීම “කිරිකෝඩු” කියලයි හඳුන්වන්නේ.බෞද්ධ සිද්ධස්ථාන වැඳීමට යන වෙන ගමන් වන්දනා ලෙස හැඳින්වූවාට සිරිපා වන්දනාව හඳුන්වන්නේ “කරුණා කරනවා” කියලයි.ගමන “කරුණා කිරීම” කියලා හඳුන්වන අතර, යන කණ්ඩායම “නඩේ” නමින් හඳුන්වනවා.ගමෙහි සිරිපා කරුණාව සඳහා එකතු වන සමූහය අතර අත්දැකීම් බහුල වැඩිහිටියා, බොහෝවිට ගමන සංවිධානය කරන්නා එම නායකයාය. ඔහු “නඩේගුරා“ය. නඩේගුරා සිරිපා වන්දනාව පිළිබඳ හසල අත්දැකීම් ඇත්තෙකි.අරගෙන යන බඩු මල්ල බර වුනාට අපි ඒක හඳුන්වන්නේ සැහැල්ලුව කියලා තමයි.ඒ වගේම තමයි සිරිපා මලුවේ සිට හිරු නැගීම නැරඹීම හඳුන්වන්නේ ඉරසේවය කියලයි.වන්දනා කරුවන් සිරිපා මගේ පාගමනින් යනවිට එකිනෙකාට බොහොම විනීතව කවියෙන් ආමන්ත්‍රණය කිරීම. එකිනෙකාට කරුණාවයි, එසේත් නැතිනම්

“වඳින්ඩ යන මේ නඩේට – සුමන සමන් දෙවි පිහිටයි, වැඳල බහින මේ නඩේට – සුමන සමන් දෙවි පිහිටයි, කරුණාවයි – කරුණාවයි”

වැනි කවි එකිනෙකාට කියා ගැනීම. මේවා විවිධ අයුරින් වර නැගීම හෝ වෙනස් කර කීම ගමන් මහන්සිය දුරුකර ගැනීම වෙනුවෙන් ගොඩක් නඩ තවමත් කරන දෙයක්.කන්දේ වැඩි බෑවුම් සහිත ප්‍රදේශය සහ ශීතලෙන් වැඩිම කොටස හිමේ නමින් හඳුන්වනවා. ඒවගේ ම හිමය කියා සමනොළ කන්ද ආශ්‍රිත වනාන්තරය හැඳින්වීමත් කරනවා.

4. පද්මෙට යනතුරු
ශ්‍රී පාද වන්දනාවට ප්‍රධාන වශයෙන් මාර්ග දෙකක් තිබෙනවා. ඒ තමයි රත්නපුර පලාබද්දල මාර්ගය සහ හැටන් නල්ලතන්නිය පෙදෙසින් යන මාර්ගය.පලාබද්දල මාර්ගයදුරින් වැඩි වුනත් හෙල් ගතිය අඩු නිසා අඩු මහන්සියකින් යන්නට හැකියාව තිබෙනවා. ඒවගේම තමයි දුරින් වැඩි වුනත් නියමම මුල් ගමන් මාර්ගය විදියට සැලකෙන්නේ මේ පලාබද්දල මාර්ගය තමයි.මෙහිදී අපිට ප්‍රධාන ස්ථාන කිහිපයක් හමුවෙනවා මේ සියල්ලම වන්දනා කරුවන් අතර ඉතා ජනප්‍රිය ස්ථාන. අපි එකින් එක ඒවා හඳුනා ගමු ලිහිණි හෙල අම්බලමලිහිණි හෙළ ගැන අතීත කතා කිහිපයක්ම තිබුනත්, වඩා ප්‍රචලිත කතාව තමා ලිහිණි නමැති කාන්තාවක් තම සැමියාගෙන් අත්වන දුක්ගැහැට ඉවසාගන්නට නොහැකිව ඔය ගල තිබෙන තැනින් පහලට පැන්නාය කියල කියන එක, තවමත් ඔතනින් යන සමහර කෝඩුකාරයෝ “ලිහිණි අක්කේ අපි ආවෝ කියලා කෑ ගැහුවාම. ලිහිණි ගලෙන් උත්තර දෙනවා කියලා කිව්වට ඒ ඇහෙන්නේ ඔවුන්ගේ හඬේ “රැවුදීම” තමයි.

ධර්මරාජ ගල
අතීතයේ ධර්මරාජ ගල සිට අලි ඇතුන් සිරිපා වන්දනා කළා කියලා මතයක් තිබුනා. දැන්නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ.
ගෙත්තම් පාන/ඉඳිකටු පානබුදු රජාණන් වහන්සේ සිරිපාදයට වැඩම කරන අවස්ථාවේදී තමන්ගේ සිවුරෙහි ඉරුණු තැන් මසා පිළිසකර කරගත් ස්ථානය හැටියටයි ගෙත්තම්පාන හඳුන්වන්නේ.මුලින් සිරිපා කරුණා කරන කෝඩුකාරයෝ මෙතන ඉඳිකටු නූල් ගෙනල්ල ගෙත්තමක් කරලා තමා යන්නේ. එහෙම ගියේ නැහැ කියලා කිසිවක් වෙන්නේ නැති වුනාට, ගෙත්තම් කරන්නේ නැතුව ගෙත්තම් පාන පහුකරලා ගිහින් මොකටද?

සීතගඟුල
මෙහෙම යන අපේ මිතුරන් කොතරම් ශීතල වුනත් ශීත ගඟුලේ පැන් සැනහිලා යන්න අමතක කරන්නේ නැහැ. පොඩි සීතල වතුර පහසක් හරි ලබාගන්න තමයි ඔවුන් උත්සහ කරන්නේ.

ඇහැල කණුව
අතීතයේ සීත ගඟුලෙන් නා පිරිසිදු වන නඩය පිරුවට හැඳගන්නේ මෙතන සිටයි. වර්තමානයේ එවැනි දෙයක් නොවෙන නමුත් සංවරව පද්මය කරුණා කිරීම කවුරුත් කරන දෙයක්.

අහස්ගව්ව
මේ ආශ්‍රිත ප්‍රදේශය “හිමය” නමින්ද හඳුන්වනවා. ඒ වගේම සුළංකපොල්ලක් වන නිසා බොහොම ප්‍රවේසමින් යායුතු ස්ථානයක් ද වෙනවා.

මහගිරිදඹය
අපහසුම කොටසේත් අපහසුම කොටස තමා මහගිරිදඹය. වර්තමානයේ නම් අත්වැල් සහ ආධාරක තිබුනත් අතීතයේ තමන්ගේ සමබරතාව රැකගන්නට නොහැකිව වැටී අතුරුදන් වූ අය අනන්තය අප්‍රමාණයි.

හැටන් නල්ලතන්නි මාර්ගය
දුරින් අඩු වුනත් පහසුවෙන්ම පද්මය ආසන්නයටම වාහන වලින් ගොසින් කි.මි 6 ක් පමණ ගෙවා පද්මයට ලඟා වන්නට හැකි නිසා මේ පාර වන්දනාකරුවන්ගේ තවත් තෝරාගැනීමක් වෙලා තිබෙනවා.

5. නොකියූ පැත්ත.
කොතරම් ආදරයෙන් පේ වෙලා පද්මේ වන්දනා කලත් ගොඩක් අපේ වන්දනාකරුවන් පරිසරයේ පිරිසිදුකම ගැන කිසිම සැළකිල්ලක් දක්වන්නේ නැහැ කියලයි අපිට හිතෙන්නේ. විශේෂයෙන් පොලිතින් සහ විවිධ නොදිරන ද්‍රව්‍ය බිම දමා යාම නිසා, බොහෝ කසල තොගයක් වන්දනා කාලය තුලදී සිරිපාදය ගමන් මාර්ග වල එකතු වෙනවා. පියසටහන් පමණක් තබා ගෙන යන අන් සියල්ල රැගෙන එන්නට කාරුණික වන්න.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

බයි පාස් කරනවිට, හදවත එලියට ගන්නකොට, ශරීරය ටික වෙලාවකට මිය යනවද ?

අද වන විට ලෝකයේ හෘද වස්තු බද්ධ කිරීමේ සැත්කම් සාර්ථකව සිදු කරනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධය, මහනුවර මහ රෝහලේ දී සාර්ථකව සිදුකරනු ලැබුවා. ඒ වගේම බයිපාස් සැත්කම් මේ වන විට සිදු වෙනවා අපේ ර⁣ටෙත්. සිත පවතින්නේ හදවත ඇසුරු කොටගෙනද ? X නම් මිනිසාගේ හදවත ඉවත් කර Yනම් මිනිසාගේ හදවත Xට දානවා නම්, X ගේ සිතට කුමක් වේද ? Y ගේ සිතට කුමක් වේද ? බයි පාස් කරනවිට, හදවත එලියට ගන්නකොට, ශරීරය ටික වෙලාවකට මිය යනවද ? හදවත් බද්ධ කිරීමේදී චිත්තයට සිදුවන සිදුවෙන ක්‍රියාවලිය කුමක්ද ? හදවත බද්ධ කරන කාලය අතරතුර කුමක් සිදුවේද ?

සිත තියෙන්නේ කොහෙද යන්න හඳුනා ගැනීමට මම ඔබට සරල උපමාවක් දෙන්නම්. ඔබ පෑනක් ගෙන, තීන්ත හා කොළ භාවිතයෙන් රචනයක් ලියා නිම කර, අල්මාරියකට දමා වසා ගබඩා කලේ යයි යැයි මදකට සිතන්න. නමුත් ඔබ ගබඩා කල එම රචනය / අදහස, නැවත ප්‍රයෝජනයට ගැනීමට නම් කටින් කියවා හෝ ඇසින් දැකබලා ගත යුතුය. “පෑන = ඔබ, තීන්ත = ලේ ධාතුව, කොළය = හදවත, රචනය / අදහස = සිත”

මනස හෙවත් සිත මුල්කරගෙන උපත ලබන සත්ත්වයා, සිත මුල්කර ගෙනම සසර සැරිසරල සිත මුල්කරගෙනම සසරින් / දුකින් මිදෙන්න ඕන බව බුදුරදුන් වදාළා ” චිත්තෙන නීයතී ලොකො චිත්තෙන පරිකස්සති – චිත්තස්ස එක ධම්මස්ස නත්වෙව වසමන්වගු” සත්ව සංඛ්‍යාත ලෝකය පවත් වන්නේ, ඉදිරියට ගෙනයන්නේ චිත්තය විසිනි. සිත නමැති මේ පුදුම සහගත එකම ධර්මය විසින් වසඟතර නොගත්තෙකු , එයට යටත් නොවූවකු මේ තුන්ලොවට නැතැයි බුදුරජාණන් වහන්සේ පෙන්නා දී තිබෙනව. සිතීමේ අර්ථයෙන් සිතට චිත්තං කියනව. අරමුණු මැන ගන්නා අර්ථයෙන් මන කියනවා. ආයතනාර්තයෙන් මනායතනකියනවා. ඉන්ද්‍රිය අර්ථයෙන් මනේන්ද්රියං කියනචා. විශේෂයෙන් දැන ගන්නා බැවින් විඥානෝ කියනවා. සිත යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සියලු ස්වභාවයන්ගෙන් අයින් වුනු ගති ස්වභාවයකි. සිතට ස්ථිර හැඩයක් නැහැ. සිත අරූපී බැවින්, නිල්, රතු, සුදු ආදී වශයෙන් ගැනෙන වර්ණයක් නැත.සිත චිත්ත, චෛසික, රුප, නිර්වාන, කියලා කොටස් හතරකට බෙදිය හැකි නමුත් මෙය එකකට එකක් ප්‍රත්‍ය වී ඇත. කොටස් වශයෙන් වෙන්කර ඇත්තේ, හේතු ඵල දහම පෙන්වීමටය. අරමුණක් නැතිව කිසි කලකත් සිතක් උපදින්නෙ නැත.

පූජ්‍යය රේරුකානේ චන්දවිමල මහා නාහිමියන්ගේ පටිච්චසමුප්පාද විවරණය, 33 – 45 පිටු දක්වා, සිත ඇති ස්ථානය මෙසේ විග්‍රහ කර ඇත.” සත්ත්ව ශරීරයෙහි හෘදය කෝෂය ඇතුළත පවත්නා ලෙය ඇසුරු කොට ගෙන එක්තරා ධාතු කොටසක් ඇත. විඤ්ඤාණ ධාතුවට ආධාර ස්ථානය වන එයට අභිධර්ම ප්‍රකරණ වල වස්තු රූපය, හෘදය රූපය යන නම් ව්‍යවහාර වේ. එම වස්තු රූපය විඤ්ඤාණ ධාතුව සේ ම බිඳි බිඳී, නැවත නැවත උපදෙමින් පරම්පරා වශයෙන් පවත්නකි. හෘදය කෝෂය තුළ නිතර පවත්නා ලෙයක් නැත. නිරන්තරයෙන් ම ලේ ඇතුළු වෙමින්, බැහැර වෙමින් පවතී. එහෙත් හෘදය රූපය යන ධාතු විශේෂය හෘදය කෝෂය තුළ ඇති ලෙය සමග පවත්නා මිස, ඉන් බැහැර වූ ලෙය සමග පිටතට නොයයි. එබැවින් වස්තු රූපය හෘදය කෝෂය තුළම පවත්නා බව කියනු ලැබේ. සත්ත්වයාගේ සිත් පරම්පරාව පවත්නේ එම වස්තු රූපයෙහි ය. ”

හෘදය වස්තුව නමැති ගුහාවේ, පතක් පමණ වූ පිරිසිදු ලේ ධාතුව ඇසුරු කොට සිත පවතියි. අභිධර්මයේ විභාවනි ටීකාවේ සඳහන් කර තියෙන්නේ එහෙමයි. මේක හරියට දර කැබැල්ලක් ආශ්‍රය කරගෙන ගින්දර තිබෙනවා වගේ. සිත කියන්නේ ක්‍රියාවලියක්. ලේ ගමන් කරන ඕනම ස්ථානයක සිතට පැවතිය හැකියි. සිත හදවත ඇසුරු කරගෙන පැවතුනද, සිතට ජීවත් වීමට තව වාසස්ථාන පහක් තියෙනවා. ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ පිහිටි දශක කලාප ඇසුරු කරගෙන සිත ගමන් කරනවා. සිත යනු නාම ධර්මයක්. එය ශරීරය පුරාම තම බලය පවත්වාගෙන යනවා. නිත්‍ය සිතක් නොමැති බවද, ආයුෂ චිත්තක්ෂනයක් බවද, සිත් පරම්පරාවක් හේතුකොටම සිතක් ඇතිවන බවද ධර්මයේ සඳහන්.

රූප කලාපයක් කියන්නේ සෛලයටත් වඩා, පරමාණුවටත් වඩා කුඩා ඇසට නොපෙනෙන, තවමත් නවීන විද්‍යා උපකරණවලින් පවා දැකිය නොහැකි වූ කුඩා ම ඒකකයක්. මේ කුඩා ම රූප කලාපය තුළත් පථවි, ආපෝ, තේජෝ, වායෝ, යන සතර මහා ධාතූ රූප ද, ඒ ධාතු රූප නිසා හට ගන්නා වර්ණ, ගන්ධ, රස, ඕජා, යන උපාදා රූප සතර ද යන රූප අට හෙවත් “ශුද්ධාෂ්ටකය” පවතිනවා. ගස් ගල් ඇඳ පුටු ආදී සියලු භෞතික වස්තුවලත් කුඩා ම ඒකකය මේ ශුද්ධාෂ්ටකයයි. ඒත් මිනිස් ශරීරයේ මේ ශුද්ධාෂ්ටකය සමඟ තවත් රූප 28 ක් පවතිනවා. කර්මය හේතු වී හට ගන්නා රූප පාලනය කරන්නේ “ජීවිත රූපය” හෙවත් ජීවිතේන්ද්‍රියයි. ජීවිතේන්ද්‍රියන් නාම ජීවිතේන්ද්‍රිය හා රූප ජීවිතේන්ද්‍රියය කියා දෙයාකාර රූප දෙකක්.

ජීවිත රූපය මඟින් මේ ශරීරයේ රූප පරම්පරාව පවත්වා ගෙන යන රූපවලට අපි “කර්මජ රූප” යැයි කියනවා. මිනිස් ශරීරය තුළ නාම, රූප පරම්පරාව පවත්වා ගෙන යන කර්මජ රූප නවයක් (9) ක් තියෙනවා. චක්ඛු ප්‍රසාදය, ශ්‍රෝත ප්‍රසාදය, ඝාණ ප්‍රසාදය, ජීවිතා ප්‍රසාදය, කාය ප්‍රසාදය, ස්ත්‍රී භාව රූපය, පුරුෂ භාව රූපය, වස්තු රූපය හා ජීවිත රූපය (ජීවිතේන්ද්‍රිය) ඒ රූප නවයයි. මේ ජීවිතේන්ද්‍රිය මඟින් කර්මජ රූප පාලනය කරනවා. ජීවිතේන්ද්‍රිය සත්ත්ව ශරීරවල මිසක් භෞතික වස්තුවල නැහැ.ඉහත කී ජීවිතේන්ද්‍රිය හා අනිකුත් කර්මජ රූප නැවියා සහ නැව වගෙයි. නැවියා නිසා නැව ගමන් කරනවා. නැව නිසා නැවියා ගමන් කරනවා. මේ අපේ ජීවිතය පවත්වා ගෙන යන ශක්තිය වූ ජීවිතේන්ද්‍රිය ශරීරයෙන් මිදී යෑමයි මරණය කියන්නේ.

අප තුල සිත පහල වන ස්ථාන ඇත්තේ 6 කි. සිතක් සැම විටම පහල වන්නේ දශක කලාපයක ප්‍රසාදය මතය. එම ප්‍රසාද නම් -: 1- චක්කු ප්‍රසාදය, 2 – සෝත ප්‍රසාදය, 3 – ඝාන ප්‍රසාදය, 4 -ජිව්හා ප්‍රසාදය, 5 – කාය ප්‍රසාදය, 6 – වස්තු ප්‍රසාදය. සිහි නැති කල විට, භවාංග සිත් පතනය වෙන්නේ, වස්තු ප්‍රසාදය මතයි. ඒ ගැන මෙම ලිපියේම ඉදිරියේදී සාකච්ඡා කර ඇත. යම් හෙයකින් වස්තු ප්‍රසාදයේ ද සිතට පහල විය නොහැකි විට, සිත වෙනත් භවයක් කරා ගමන් ගන්නවා. එනම් මරණය සිදුවේ. හදවතේ පිහිටන දශක කලාපය පමණක්, වස්තු දශක කලාපය ලෙස හඳුන්වනවා. පීළිවෙලින් අනෙක් දශක කලාප, ” චක්කු දශක කලාපය, සෝත දශක කලාපය, ඝාන දශක කලාපය, ජිව්හා දශක කලාපය, කාය දශක කලාපය ” යනුවෙන් හඳුන්වනවා.

හදවතක් බද්ධ කල විට සිතට නැවත වාසස්තානයක් ලැබෙනවා. හදවත් බද්ධ කිරීමේදී, මියගිය X ගේ සිත, වෙනත් භවයක සිත් පරම්පරාවක් ඇතිකරමින් පවතින නිසා, එම හදවතේ ඇති සිතක් ගැන කතා කිරිම කල නොහැක්කකි. සිත වැඩිපුර කාලයක් ජීවත් වෙන්නේ, හදවතේ පිහිටි දශක කලාපයේය. මෙය “වස්තු දශක කලාපය / වස්තු රූපය / හදවත් රූපය / වස්තු රූප කලාපය ” යන නම් වලින්ද හඳුන්වනු ලබනවා. හදවත ඉවත් කල X මැරෙනවා. පරිත්‍යාගශීලි ඔහුගේ, ප්‍රතිසංධිය වෙනත් තැනක සිදුවෙනවා. ඒත් බද්ධ කල, X ගේ හදවත ලබාගත් Y ජීවත් වෙනවා. බොහෝ විට හදවත් පරිත්‍යාග කරන්නේ, ජීවිතයත් මරණයත් අතර සිටින X වැනි අය. නැතහොත් හදවත බද්ධ කිරීමට දායකයාගේ හිසට හානි වීමෙන් මියගොස් තිබිය යුතු යි. මරණයෙන් පසු නැවත උපතකදී, කෙනෙකුගේ ප්‍රතිසන්ධි සිත තමයි මුලින්ම ඇතිවෙන්නේ. ඉන්පසු ප්‍රතිසන්ධි සිත ආශ්‍රය කොටගෙන හදවතේ 1 – වස්තු රූප 2 – භාව රූප 3 – කාය රූප ලෙස, රූප කලාපයන් තුනක් ඇතිවෙනවා. වස්තු රූප කලාපය තමයි පළමුවම ඇතිවෙන්නේ.

අපි දැන් සිහි නැති කිරීමේ ක්‍රියාවලිය සළකා බලමු. සිහි නැතිකිරීමට දෙන එන්නත් වල අඩංගු රසායනික ද්‍රව්‍ය වලින්, මොළයේ ඇතැම් කොටස්, තාවකාලිකව ක්‍රියා විරහිත කරනවා. එවිට ඇස, කණ, නාසය, දිව, කය යන ස්ථාන පහේ පිහිටන දශකකලාප මඳකට නිරුද්ධ වෙනව. එහෙම වෙන්නේ, ඒ දශක කලාප පහළ වෙන්නෙ, ස්නායු කෙළවරවල් වල නිසයි. එනම්, ඖෂධ බලයෙන් මොළයේ ඇතම් ක්‍රියාවන් නැවතීමක් කළ නිසා, ඒ දශක කලාපයන් පිහිටන ස්නායු හා, මොළය සමඟ පවතින සම්බන්ධය තාවකාලිකව නැවතීම මඟින්, ඒ දශක කලාප තාවකාලිකව නිරුද්ධ වෙනව. එවිට ඇස, කන, නාසාදී බාහිර ආයතන වලින් අරමුණු නොපැමිණෙන කළ, සිත වස්තු රූපය තුලම පමණක් පහළ, වෙමින් භවාංග ගත වීම සිදුවෙනවා. ඖෂධ බලයෙන් කරන සිහි නැතිවීම් වලින්, මුලින්ම නිරුද්ධ වෙන්නෙ ඇස, කන, නාසාදියේ ස්නායු මත පිහිටන දශක කලාප. හෘදය වස්තුවේ පතක් පමණ වූ ලේ ධාතුව ඇසුරු කරගෙන පහළ වෙන වස්තු දශක කලාපය මේ ක්‍රියාවලියෙන් නිරුද්ධ වෙන්නේ නැහැ.

ශල්‍යකර්මය අතරතුරදී පුද්ගලයාගේ, ලේ පොම්ප කිරීමේ ක්‍රියාවලිය කෘතීම හර්දයකට ( උපකරණයකට ) පවරනවා. ලේ පිරිච්ච හෘදයක් අලුත්වැඩියා කිරීම අපහසු නිසයි, මුලින්ම ලේ ටික කරන්ට් එකෙන් වැඩ කරන කෘතිම හෘදයකට හරවන්නෙ. පසුව මුල් රෝගී වූ හර්දයේ අවශ්‍ය නිවැරදි කිරීම් සිදුකරනු ලබනවා. නැතහොත් නව නිරෝගී හර්දයක් බද්ධ කරනු ලබානවා. මේ කාලය තුලදී ” මනෝ විඥානය / භවාංග සිත”, උපකරණය තුල පවතින, පතක් පමණ වූ ලේ ධාතුව ඇසුරු කරගෙන, ” වස්තු රූපය / හදවත් රූපය / වස්තු දශක කලාපය / වස්තු රූප කලාපය ” තුල පහළ වේ. මේ අවස්ථාවේදී වස්තු රූපය, ශරීරය තුල වෙනත් තැනක පහළ විය නොහැක. මක්නිසාද යත්, චක්කු – සෝත – ඝාන – ජිව්හා – කාය යන දශක කලාප, එන්නත් මඟින් සිදුකරන ලද, ඖෂධ නිසා තාවකාලිකව බිඳවැටීමකට ලක්වෙනවා. වස්තු රූප කලාපය, එන්නත් මඟින් බිඳ වැටීමකට ලක්වෙන්නේ නැහැ. වස්තු රූප කලාපයක්, මස් හර්දයක් තුල, කිසි විටෙක පිහිටන්නේ නැහැ. එමනිසා, රෝගී හර්දය ඉවත් කිරීමේදී, සිත ඉවත් වෙන්නේ නැහැ. ලේ පොම්ප කිරීම සඳහා, තාවකාලිකව සම්බන්ධ කර ඇති, උපකරණයේ ක්‍රියාකාරීත්වයද අවසන් වුවහොත්, ලේ අපිරිසිදු වීම මඟින්, තවදුරටත් වස්තු රූපයට පහල වීමට ස්ථානයක් නොමැති නිසා, චුති චිත්තය පහළ වීමෙන් මරණය සිදුවෙනවා. එනම් වස්තු රූපය, එවැනි ක්‍රියාවලියක් මඟින් බිඳවැටෙන විට, මරණය සිදුවෙනවා.

මෙවැනි ප්‍රශ්න සංසාර විමුක්තියට ප්‍රබල දායකත්වයක් නොදක්වන නිසා, බුදුරාජාණන් වහන්සේ මෙවැනි දේවල් දීර්ඝව දේශණා කර නැත. හිස ගිනි ගත්තෙක්, ඒ ගින්න නිවන්න උතසහ කරනවා සේ, වහ වහා නිර්වාණය අවබෝධ කිරීමට උත්සාහා කලයුතු බවටයි, බුදුරාජාණන් වහන්සේගේ අවවාදය. පෞද්ගලිකව මා ධර්ම කරුණු වාද කර කර ඉන්න අයෙක් නෙවෙයි. මාර්ගය වඩන කෙනෙක්. ධර්මාවබෝධයට මේ මොකුත් නොදැන ගත්තත් ප්‍රශ්නයක් නෑ. හොඳම දේ සිත කොහෙද තිබෙන්නේ යැයි, ගැටලු සකසා ගැනීම නොව, ලැබූ වටිනා මිනිස් ජිවිතය තුලින්, නිර්වාණය ලබාගැනීමට වහ වහා උත්සුක වීමය. මොකද ලෝකය ගැන හොයන්න ගියොත් ඉවරයක් නෑ. අචින්ත්‍ය ධර්ම මේවා. නමුත් මේවායින් තේරුම් ගන්න පුලුවන් යම් සත්‍ය්‍යයක් තිබුනොත්, එතුලින් තමන්ගේ ශ්‍රද්ධාව වැඩි දියුණු වේවි. බුද්ධ දර්ශනය කෙරෙහි ඔබ තව තවත් පැහැදේවී. නමුත් නිර්වාණය කරා යන ගමනේදී, මේ වගේ ප්‍රශ්න, අතුරුපස මිස, ප්‍රධාන ආහාර වේලක් ලෙස, භාවිතා නොකළ යුතුය.

ඔබ සැමට තෙරුවන් සරණයි !! Charitha Chandima Hapukotuwa
ධර්ම දානය පිණිස බෙදාහරින්න.

නා රජු විසින් බුලත් කොළේ, මිනිස් ලෝකයට ගෙනාපු කතාව

බත බුලතින් පිරි සෞභාග්‍යමත් රටක්.සෞභාග්‍ය හා සශ්‍රීකත්වය පිළිබඳ කතා කිරීමේදී බුලත් යනු ශ්‍රී ලාංකික අපට නැතුවම බැරි දෙයක් බවට පත්ව ඇත.ආවාහ විවාහ මෙන්ම මංගල අවමංගල ඇතුළු ජන ජීවිතය හා බැඳුණු බොහෝ චරිත්‍ර වාරිත්‍ර සඳහා බුලත් යොදා ගනී.ඒ තරමටම බුලත් අපට සමීප වී ඇත.සිංහලයා අතර බුලත් දෙවැනි වන්නේ බතතට පමණි.එනිසා බුලත් පිළිබඳ තබන සටහනකි මේ.

“Pipe betle L” නම් වූ විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන බුලත් “Piperaceare” නම් කුලයට අයත් නිවර්තන කලාපීය ශාකයකි. ලංකාවේ සෑම ප්‍රදේශයකම බුලත් වගා කළ හැකිය. මේ නිසා අතීතයේ සිටම සෑම සිංහල නිවසකම බුලත් වැලක් පුවක් ගස් කිහිපයක් සිටුවා ගැනීම සිදුකෙරේ.

සිංහල සංස්කෘතියෙහි පමණක් නොව ඉන්දියාව, බුරුමය, පිලිපිනය, පාකිස්ථානය, බංගලාදේශය යන වෙනත් රටවලද බුලත් කැමට පමණක් නොව වෙනත් විවිධ අවස්ථාවලදි ද එය භාවිත කරයි. සිංහල සමාජයේ බුලත් යනු විට කැමට ගන්නා කොළ විශේෂයක් පමනක් නොව ඊට වඩා ගැඹුරු අර්ථ ගෙන දෙන දෙයක් බව පෙන්නුම් කෙරේ.

කටේදී බුලත් විට, පිළිගන්වන විට බුලත් අත, ඉනේදී බුලත් පයිය, ගෙදරදී බුලත් හෙප්පුව, මඟුලකදී බුලත් තට්ටුව, අවමඟුලකදී ඉලත්තට්ටුව, ගමනක් යන විට බුලත් මඩිස්සලේ, ආගමික කටයුතු වලදී දැහැත් වට්ටිය,දේවාලයේදී දළු මුර, කුඹුරේදී බුලත් පෙට්ටිය, කාන්තාවන් ලඟදී බුලත් හැඹිලිය ආදී වශයෙන් බුලත් විවිධාකාරයෙන් ජන ජීවිතය හා බැඳී පවතී. සිංහලුන් අතර පමණක් නොව, ලෝකයේ බොහෝ රටවල් අතරද බුලත් ඉතා ජනප්‍රිය කෑමකි. මෙරට ප්‍රධාන අපනයන බෝගයක් වන බුලත් වල ප්‍රධාන ගැනුම්කරුවා පකිස්ථානය වේ.

ශ්‍රි ලාංකිකයන්ගේ බුලත් සැපීමේ පුරුද්ද ක්‍රි.පූ.340 තරම් ඈතට දිව යයි. රටේ මුල් පුරවැසියාගේ පටන් සාමාන්‍ය වැසියා දක්වාම කිසිදු භේදයකින් තොරව බුලත් සැපීම සිදු කරනු ලැබ ඇත. ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව විවිධ වැඩ රාජකාරි වලදී මෙන්ම කෑමට පෙර හා පසුවද නින්දට යාමට පෙරද බුලත් සැපීමට ඇතමෙක් පුරුදුව සිටිති. පුද්ගලයාගේ රුචිකත්වය අනුව විවිධ අවස්ථාවල බුලත් සැපීම සිදු කරනු ලබයි.

වර්ථමානය වන විට මිනිසුන් බුලත් සැපීම සඳහා පුවක්, හුණු, දුම්කොළ ආදිය බහුලව යොදා ගනියි.එහෙත් ආයුර්වේදය එය එතරම්ම අනුමත නොකරයි.ආයුර්වේදයට අනුව කරාබු නැටි, සාදික්කා, වසාවාසී හා ඉගුරු පියළි ආදිය බුලත් සැපීම සඳහා යෝග්‍ය වන බවයි සඳහන් කරන්නේ.එය එසේ වී නමුත් අද වන විට බුලත් විට සඳහා මිනිස් ශරීරයට අහිත කර දෑම එකතු කර තිබීම අවාසනාවකි.එකල පුද්ගලා බුලත් විටක් සැපූ විට හමා ආ සුවඳත් අද බුලත් විට හපන කෙනා අතරත් ඇත්තේ අහස පොළොව තරම් ඈතකි.ඒ තරමටම බුලත් විටද අද වෙනස් වී වාණිජ දෙයක් පමණක් බවට පත්ව තිබේ.

බුලත් කොළයේ සම්භවය සිදුව ඇත්තේ මැලේසියාව ආශ්‍රිත නැගෙනහිර ආසියාතික කලාපයේ බවට විශ්වාසයක් පවතී.එමෙන්ම අරිබි වෙළෙදුන් විසින්ද මෙය ලංකාව ඇතුළු ආසියාත්ක රටවලට දායාද කළේ යැයිද මතයක් පවතී.එම විශ්වාසය එසේ වී නමුත් ලාංකික අපට අසල්වැසි රට වූ ඉංදියාවෙන් මෙය සංකුමණය වූ බව කියවේ.ඉංදියානු සංස්කෘතිය තුළද බුලත් සැපීම ප්‍රධාන අංගයක් ලෙස දැකිය හැකිය. හින්දු විශ්වාසයට අනුව තමන්ට බුලත් ලැබුණේ දිව්‍ය ලෝකයෙන් බව විශ්වාස කරති. දිව්‍ය ලෝකයේ සිට “අර්ජුන“ නම් දිව්‍ය කුමාරයෙකු විසින් බුලත් රැගෙන විත් තිබේ.

ලාංකික අපගේ විශ්වාසය මහා සම්මත රජුගේ මැණික්පාලි බිසවට ඇති වූ දොළදුකක් නිසා එය සංසිඳ වීමට නා රජු විසින් බුලත් මිනිස් ලොවට ගෙන ආ බවයි. බුලත් නාග ලොවින් අපට ලැබුණු බවත් නාගයාගේ මුඛයෙන් අල්ලා මෙලොවට බුලත් ගෙන ආ බවත්ය. නාගයාගේ මුඛයෙන් අල්ලා බුලත් ගෙන ආ බැවින් බුලත් කොළයේ අගිස්සෙහි විෂ ඇතැයි ජනයා තුළ විශ්වාසයක් පවතී.මේ හේතුවෙන් අදටද බුලත් කන සෑම අයෙකුම බුලත් කෑමට පෙර බුලත් කොළයේ අගිස්සෙන් කඩා දමනු දැකිය හැකිය.බුලත් නාග ලොවින් ලුනු හෙයින් බුලත් කොරටුවෙන් කඩා ගන්නා මුල්ම බුලත් කොටස කැලණි විහාරයට පුජා කිරීමට පුරුදුව සිට ඇත.බොහෝ නිවෙස් වල බුලත් වැලක් හො දැකිය හැකි අතර ඉන් කඩා ගන්නා මුල්ම බුලත් කොළ කිහිපය බුද්ධ පුජාව සඳහා එක් කිරීම අදටද දැකිය හැකිය.බුලත් නාග ලොවින් ආ නිසාවෙන් නාගවල්ලී ලෙසද නාගලතා ලෙසද හදුන්වයි.

ගුරු දෙගුරු වන්දනයේ පටන් විවිධ පිළගැනීමේ අවස්ථාවන්හිදී පවා අප බුලත් අත භාවිතා කරයි.මෙහිදී බුලත් අතක් නොහොත් බුලත් හුරුල්ලක් යනු කොපමණක්ද ? බුලත් අතක් සඳහා කොළ කීයක් උවමනාද යන්න විවිධ මත පවතී.වර්තමානයේ පහත රට ප්‍රදේශයේ නම් බුලත් අතක් සඳහා බුලත් කොල 40 ක් අඩංගු විය යුතු බව විශ්වාස කරයි.බුලත් කොළ 40 කතාවේදී චුලෝදර මහෝදර කතාව නොකියාම බැරිය.මන්ද චුලෝදර මහෝදර ගැටුම සමථයකට පත් කිරීම සඳහා බුලත් කොළ 40ක් ගෙන දෙදෙනා අතර කොළ 20 බැගින් ලබා දී ගැටුම සමථයකට පත් කොට සමගියෙහි ඇති අගය පහදා දී ඇති බව පැවසේ.එක් පාර්ශවයකට ලබාදුන් බුලත් කොළ 20 න් අතේ ඇගිලි 10 හා පාදයේ ඇගිලි 10 නියොජනය වෙයි. නමුත් උඩරට ප්‍රදේශවලදි හෝ මිටියක් වශයෙන් ගෙන බුලත් අත පිළිගැන්වීම සිදු කරයි.

නාගවල්ලී, ගල් දළු බුලත්, ගැට කෝටු බුලත්, වැල් බුලත්, රට දළු බුලත් නොහොත් රට බුලත්, ගස් බුලත්, කහ කීරිය බුලත්, මැටි පලා බුලත්, ගැරඬි මානේරු, මහ මානේරු හෙවත් කහ මානේරු ලෙස බුලත් වර්ග රැසක් හදුනාගත හැකිය.බුලත් සැපීමේ පුරුද්ද නිසා ඊට අවශ්‍ය ආම්පන්න රැසක්ද නිපදවීය. ඒ අතර බුලත් හෙප්පුව, හුණු කිල්ලෝටය, ගිරය, පඩික්කම පෙන්වාදිය හැකිය.අද වන විට ලොකු කුඩා භේදයකින් තොරව සෑම නිවසකම ඉලත්තට්ටුවක් දැකිය හැකිය.

වර්තමානයේ බුලත් කෑමේ අවිධිමත් ක්‍රමය හේතුවෙන් යම් යම් මුඛ ආශ්‍රිත රෝග ඇතිවෙන බවට සමීක්ෂණ තුළින් සොයැගෙන ඇති බව අප කවුරුත් දන්නා රහසකි.ඒ බුලත් සමග පුවක්,හුණු හා දුම් කොළ බුලත් සමග ආහාරයට ගැනීමයි.බුලත් සමග ආහාරයට ගන්නා හුණු පිළිකා ඇතිකිරීමට තරම් බලවත් බව සඳහන් වෙයි.

පුරාණ කල මිනිසා බුලත් සැපීම සිදුකර ඇත්තේ කරාබු නැටි, සාදික්කා, වසාවාසී හා ඉගුරු පියළි ආදිය සමග වන අතර යම් යම් මුඛ රෝග සඳහා බෙහෙතක් ලෙසද භාවිත කොට තිබේ. බුලත් කෑමෙන් වා, පිත්, සෙම යන තුන් දොස් සමනය කරන බව අයුර්වේදයේ සඳහන් වන අතර අායුර්වේද ග්‍රන්ථ වල බුලත් කෑම සෞඛ්‍යාරක්ෂිත ආහාරයක් ලෙසද සැලකෙයි. නමුත් බුලත් සමග හුණු හෝ දුන්කොළ එක් කිරීමක් පිළිබඳ සඳහනක් නොවේ. ලන්දේසීන් විසින් මෙරටට දුන්කොළ හදුන්වා දීමත් සමග බුලත් විට සඳහා එක්වන්නට ඇත. එනිසා හුණු හා දුන්කොළ බුලත් විට සඳහා මෑත කාලයේ ආගමනය වූ ඒවා ලෙස සැලකිය හැකිය.

ආයුර්වේදය තුළ “තාම්බූල වටිකාව” ලෙස බුලත් විට හදුන්වා ඇත. “චරක සංහිතාවේ” සඳහන් වෙන ආකාරයට බුලත් හැපීම තුළින් උගුර ආශ්‍රිත රෝග,විදුරු මස් අශ්‍රිත රෝග මෙන්ම මුඛයෙන් හමන දුර්ගන්ධය නැති කර ගැනීමට උපකාරී වෙන බව කියවෙයි. “සුශ්‍රැත සංහිතාවේ” සඳහන් වෙන ආකාරයට උදෑසන අවදි වූ විට, ආහාර ගැනීමට පෙර හෝ පසු බුලත් විටනක් සැපීම යෝග්‍ය වන බවත්,වමනය වැනි අවස්ථාවලදීද බුලත් විටක් සැපීම යෝග්‍ය බව කියවෙයි.ක්‍රි.ව.7 හො 8 වැනි සියවසේ පමණ ලියවුණා යැයි සැලකෙන “අෂ්ඨාංග හෘර්ද සංහිතාව නම් ආයුර්වේද ග්‍රන්ථයේද මෙය තහවුරු කර තිබේ.

එදා පටන්ම ලාංකික ගැමි සමාජය අතරද, බුලත් විට සැපයූ බව විවිද වාර්තාවලින් පැහැදිලි වේ. රොබට් නොක්ස් ලංකාව පිළිබඳ ලියන ලද ග්‍රන්ථවල සඳහන් කොට ඇත්තේ ශ්‍රී ලාංකිකයින් රාත්‍රී නින්දට යන්නේද බුලත්විටක් කටේ තබා ගෙන බවයි. විවිධ සෙල්ලිපි තුලින් ද බුලත් පිළිබද ඓතිහාසික බව සඳහන් වීමද විශේෂයකි. තෝනිගල සෙල් ලිපියේද දිනපතා විහාර වන්දනා ව සඳහා ගෙන යායුතු දෑ අතර, දැහැත්විට නොහොත් බුලත් විටද ගෙන යායුතු බව සඳහන් කොට තිබේ. මහාවංශය, ථූපවංශය, සද්ධර්මාලංකාරය, පූජාවලිය වැනි ග්‍රන්ථ තුලද ලාංකිකයා ආදි කල සිටම බුලත් සැපයූ බවට සාක්ෂි සපයයි. මේ නිසා බුලත් යනු ලාංකික ජන ජීවිතයට නැතුවම බැරි අංගයක් බව පත්වී හමාරය.

සටහන හා ඡායාරූප සුරියවැව නුවන් ජයසේකර
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

බුදුරැස් විහිදෙන සෝමාවතී පුදබිමේ සිදුවෙන හාස්කම්

කිසිවකු කිසිවක්‌ කතා නොකර සෝමාවතිය චෛත්‍ය රාජයාණන් දෙස බලා සිටියහ. ඒ නම් ආශ්චර්යයක්‌මය. චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් කැරැල්ල වටේට රශ්මි මාලාවක්‌ විහිදේ සාධු… සාධු… සාධු… ඒ දැකුමෙන් ප්‍රමුදිත වූ දහස්‌ සංඛ්‍යාත බැතිමුතුන්ගේ සාධු නාදයෙන් සෝමාවතිය පුද බිම රැව් පිිළිරැව් දුන්නේය. ඒ අසිරිමත් මොහොත උදා වූයේ පසුගිය ඇසළ පුන් පෝය දින දහවල් 11.30 ට පමණය. විනාඩියක්‌ දෙකක්‌ එම රශ්මි මාලාව කොත් කැරැල්ලට ඉහළින් දිස්‌ විය. ඒ ආශ්චර්යවත් මොහොතේ සෝමාවතිය චෛත්‍ය රාජයාණන් අභියස සිටීමට තරම් මම ද වාසනාවන්ත වීමි. දූවිලි වලාවන් මැදින් යන සෝමාවතිය ගමන තරමක්‌ කටුකය. එහෙත් එදින සතර දිග් භාගයෙන් පැමිණි බැතිමතුන්ගෙන් සෝමාවතිය පුදබිම එකම ජන ගගක්‌ බවට පත්ව තිබිණි. එමෙන්ම ඒ පින්බර දිනය පුරා සෝමාවතිය චෛත්‍ය රාජයාණන් අභියස පින්කම් රැසක්‌ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි. එදින රාත්‍රියේ වාර්ෂිකව පවත්වනු ලබන දළදා පෙරහැර පැවැත්වීමට ද සියල්ල සූදානම් කර තිබිණි. ඒ සියලු පුණ්‍යකර්මයන්වලට දායකත්වය ලබා දී තිබුණේ කොළඹ ආර්ය සිද්ධි පදනම විසිනි.

සෝමාවතිය චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි විශාල ජනකායගේ කුස ගිනි නිවීමට බත්, කඩල, සුප් දන්සල් සේම පිපාසය සංසිඳුවාලීමට සිසිල් පැන්, ඛෙලි මල්, තේ පැන් දන්සල් ද බොහෝමයකි. මේ සියලු පුණ්‍යකර්මයන්වලට දායකත්වය ලබාදීම සඳහා කොළඹ සිට විශාල සැදැහැවතුන් පිරිසක්‌ සෝමාවතිය පුදබිමට ගොස්‌ සිටියහ. හිරුගේ රශ්මිය හමන සුළග මදකට සිසිල් කරන්නේය. අපි ඒ පුද බිම වටා ඇවිද ගියෙමු. ගහ කොළට මුවා වී ඉටි පැදුරුවලට බර දී ඇතැම්හු සිල් සමාදම් වී සිටියහ. තවත් බැතිමත්හු මොහොතකට විඩාව දුරුකරගනු වස්‌ තුරුපත් සෙවනේ හාන්සි වී සිටියහ. දෙනෝ දාහක්‌ බැතිමත්හු සෝමාවතිය පුද බිම වටා ඔබ මොබ ඇවිද යමින් සිටියහ. අපි චෛත්‍ය වටා සක්‌මන් කරමින් සිටිමු. ඇසිල්ලෙන් මේ ඓතිහාසික පුද බිමේ ආශ්චර්යවත් සිදුවීම් පෙළක්‌ මගේ සිතේ පෙළගැසෙන්නට විය. ඒ සෝමාවතියේ අප දැන සිටි ආශ්චර්ය පමණි. අප නොදත් තව බොහෝ දේ ඒ අසිරිමත් පුද බිමේ සිදුව ඇති බවට සැක නැත. ඒ ගැන හොඳින්ම දැන සිටින්නේ සෝමාවතිය රජමහා විහාරයේ වැඩ සිටින විහාරාධිපති අතිපූජ්‍ය රාජකීය පණ්‌ඩිත පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන්ය. සෝමාවතියේ නොදත් ආශ්චර්ය ගැන විමසා බැලීමට දැන් අපි උන්වන්සේ බැහැ දකිමු. මම මේ චෛත්‍යයෙන් බුදු රැස්‌ විහිදෙනවා මුලින්ම දැක්‌කේ 1967 අවුරුද්දෙ. එතකොට මෙච්චර දියුණු නැහැ. ලැගුම් ගන්න හරියට පන්සලක්‌වත් තිබුණෙ නැහැ. ඊට පස්‌සෙ 1983 අවුරුද්දෙ චෛත්‍ය වහන්සේට කොටි පහර දුන්නා

සුපහන් සිදුවීම් පෙළකින් පිරී තිබුණු මගේ සිතට කාලකණ්‌ණි මතකයක්‌ නැගෙන්නට විය. මේ ප්‍රදේශ මිනී මරු කොටි ග්‍රහණයේ පැවති සමයේ මේ ඓතිහාසික පුද බිම ගණ කැලෑවෙන් වැසී ගොස්‌ තිබිණි. එමෙන්ම ත්‍රස්‌තවාදීහු මේ පුද බිමේ පිවිසුම් දොරටුව වන සුංගාවිල ප්‍රදේශයේ සිටි මිනිස්‌සු පවුල් පිටින් කැති ගා දැමූහ. ඒ කාලේ මරණය සුලභ බැවින් එබඳු මරණය සමාජය තුළ කම්පනයක්‌ ඇති කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය. මිනී මරු ප්‍රභාකරන් මේ රටේ ජන ජීවිතවලට ගිනි අවුලා තිබුණේ එලෙසිනි. ත්‍රස්‌තවාදීන්ගෙන් මේ ප්‍රදේශ මුදාගත්තට පස්‌සේ 2002 අවුරුද්දෙ අපි නැවත පන්සලට ආවා. ඒ අවුරුද්දෙම අප්‍රියල් 26 වැනිදා උදේ මම අවදිවෙලා චෛත්‍ය දිහා බලන කොට බුදුරැස්‌ විහිදෙනවා. අලි ඇවිත් ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ කාලේ අපිට පින්තූර ගන්න කැමරා තිබුණෙ නැහැ. නැවත චෛත්‍ය ප්‍රතිසංස්‌කරණය කරලා 2002 අවුරුද්දෙම ජුනි මාසේ 19 වැනිදා කොත් පළඳවන අවස්‌ථාවේත් බුදුරැස්‌ විහිදුනා. ඒ අවස්‌ථාව නම් ඡායාරූපයකට අරගන්න පුළුවන් වුණා. මෙතැන බෝධීන් වහන්සේ නමක්‌ වැඩ සිටියේ නැහැ. මේ ස්‌ථානය ටික ටික දියුණු වී ගෙන එනකොට බෝධීන් වහන්සේ නමක්‌ ඉබේම පහළ වුණා.

2003 අවුරුද්දෙ පෙබරවාරි 4 වැනිදා පිරිත් පින්කම් දවසේ පාන්දර 1.30 ට විතර චෛත්‍ය උඩින් විශාල දුමක්‌ ඇවිත් මොහොතකින් බුද්ධ රූපයක්‌ මතු වුණා. ඒ වගේම මුලින්ම දළදා පෙරහැර පවත්වනකොට චෛත්‍ය ඇතුළෙන් එළියට පෙරහැරක්‌ ආවා. දළදා පෙරහැර පැවැත්වූවේ අලි ඇතුන් ඇතිවයි. පෙරහැරට ඉස්‌සරින්දා කැලෙන් පුංචි අලි පැටියෙක්‌ ඇවිත් මගේ කකුල් දෙක ළඟ දණ ගැහුවා. ඒ අලි පැටියත් එදා පෙරහැරේ ගියා. ඒ අලි පැටියත් එක්‌ක සුදු අලි පැටියෙකුත් පෙරහැර යනවා මිනිස්‌සු දැකලා තිබුණා. ඡායාරූපවලටත් හසු වෙලා තිබුණා. ඒක වුණේ 2009 අවුරුද්දෙ ජුලි 08 වැනිදා. ඒ මාසෙම ජුනි 28 වැනිදා චෛත්‍ය ඇතුළෙන් සුදු අලි පැටියෙක්‌ එළියට ඇවිත් පුංචි දරුවකුගේ ඇගේ හැපිලා තියෙනවා. ඊට පස්‌සෙත් කීප වතාවක්‌ම බුදු රැස්‌ විහිදුනාල නැවත අපි බැතිමතුන් අතරට ගියෙමු. ගිනි මද්දහනේ මිනිස්‌සු පෝලිම් ගැසී සිටිති. සෑම කෙනෙකුගේම සුරතේ අටපිරිකරකි. සෙසු පිරිකර දෑතට ගත් බැතිමතුන් ද නොසිටියාම නොවේ. සාධු නාදය පුද බිම සිසාරා යද්දී අටපිරිකර පෙරහැර චෛත්‍ය රජායාණන් වහන්සේ අභියසට එක පෙළට ගමන් කරයි. පෙරහැරේ ගමන් කළ දහසකට වැඩි බැතිමතුන් අතරින් එක්‌ මවක්‌ අසල මගේ දෙනෙත් නතර විය. හරි හැටි ඇවිද ගැනීමට බැරි තරමට ඇය වියපත්ය. දෙනෙත් පෙරහැර පුරා ගමන් කරයි. මේ සා වියපත් මවක්‌ නම් මගේ ඇස නොගැටේ. අටපිරිකර පෙරහැර අවසානයත් සමග මම ඒ මව අසලට ගියෙමි.

අම්මා කොහේ ඉඳන්ද ආවේ… ඇයව කතාවට සම්බන්ධ කරගැනීමේ අදහසින් මම එසේ ඇසුවෙමි. දඹදෙණියෙ ඉඳලා. අම්මගෙ නම…? ලීලා බෝතේජු. අම්මා කොච්චර කාලෙක ඉඳලා සෝමාවතිය වඳින්න එනවාද? මම මුලින්ම ආවේ 1960 ගණන්වල පුතේ… එතකොට මේවා මහා කැලෑව. චෛත්‍ය ගරා වැටිලා. ඉන්නත් බයයි. ඉක්‌මනට චෛත්‍ය වැඳලා ආපස්‌සට දුවනවා. ඒ කාලේ සුංගාවිල ඔයෙන් එගොඩ වෙන්න පාලම් තිබුණෙ නැහැ. පාරුවෙන් එගොඩ වෙලා සෝමාවතියටම ආවේ පයින්. ඉඳල හිටලා ට්‍රැක්‌ටර්යක්‌ හම්බ වෙනවා. නැත්නම් හැතැප්ම දොළහම පයින් ගාටන්න ඕනා. එහෙම එන වෙලාවට පාර අයිනේ අලි ඉන්නවා. කිසිම දවසක උන්ගෙන් අපිට හිරිහැරයක්‌ වෙලා නැහැ. එක දවසක්‌ පුතේ අපි එනකොට තුන්පත් රැන අපේ ඉස්‌සරහරට එනවා. අපි එකතැන නතර වුණා. දැන් ගහයි… දැන් ගහයි කියලා බය හිතුනා. අනේ පුතේ උන් තුන්දෙනා අපි දිහා බලාගෙන ඉඳලා අපිට යන්න දීලා පාර අයිනට ගියා. මේ කැලේ සත්තුත් මේ පින්බිම වැඳ පුදා ගන්නවා පුතේ…

ලීලාවතී අම්මාට දැන් වයස අවුරුදු 88 කි. 2002 වර්ෂයේ සෝමාවතිය පුද බිම නැවත ප්‍රතිසංස්‌කරණය කර වැඳුම් පිදුම් සඳහා ජනතාවට විවෘත කළ දින සිට සෑම වසරකම ඇය සෝමාවතිය වඳින්නට එයි. අපි ලීලාවති අම්මා සමග කතා කරමින් සිටියදී ඇයත් සමග පැමිණි තවත් මවක්‌ අප සමග කතාබහට එක්‌ වූවාය. මෙතැන පුදුම විදිහට හාස්‌කම් තියෙන තැනක්‌ මහත්තයෝ… මේ චෛත්‍ය දිහා බලාගෙන මොනවහරි ප්‍රාර්ථනා කළොත් ඒක තක්‌කෙටම හරි යනවාල අපේ ගෙවල් තියෙන්නෙ අලව්වේ. මගේ රට ඉන්න ලොකු පුතා කියනවා එයාට ඉබ්බාගමුවෙන් ඉඩමක්‌ ගන්න කියලා. මම පුතාට කිව්වා… පුතේ ඉබ්බාගමුව ගොඩක්‌ දුරයි ඒ වගේම දුෂ්කරයි අපි ගෙවල්වලට කිට්‌ටුවෙන් ඉඩමක්‌ ගමු කියලා. කොහේද පුතා අහුවෙම නැහැ. ඊට පස්‌සෙ මමයි මහත්තයි ඉඩම් බලන්න ඉබ්බාගමුවේ නොගිය තැනක්‌ නැහැ. අපි එහෙම ගියේ කිසිම කැමැත්තකින් නෙමෙයි. පුතාගෙ බලකිරිල්ලට. අපිට ඉන්නෙ දරුවො දෙන්නයි. ඒ දෙන්නව අපි ළගින් තියාගන්න තමයි අපි කැමතියි. මගේ හිතටත් මේක හරිම වධයක්‌ වෙලා තිබුණෙ.

මේ වෙසක්‌ පෝයට අපි පොළොන්නරුවෙ ආපු වෙලාවේ සෝමාවතිය වඳින්නත් ආවා. එතකොට මම චෛත්‍ය දිහා බලාගෙන මගේ හිතේ තියෙන ප්‍රශ්නය කියලා දරුවගෙ හිත වෙනස්‌ කරලා දෙන්න කියලා ප්‍රාර්ථනා කළා. එහෙම ප්‍රාර්ථනා කරලා ගෙදර ගිහින් දවස්‌ දෙකක්‌ විතර යනකොට ලොකු පුතා මට කතා කරලා කියනවා ~අම්මේ මට ගම පැත්තෙන්ම ඉඩමක්‌ හොයන්න. මම ඉබ්බාගමුව පැත්තට යනවට අම්මල කැමතිත් නැහැනේ කියලා. මට අදහාගන්න බැරි වුණා. අපිට වෙනස්‌ කරගන්න බැරි වුණු පුතාගේ හිත එක පාරටම වෙනස්‌ වුණේ කොහොමද? ඇත්තටම මේ පින්බිමේ බලයෙන් තමයි එහෙම වුණේ… අලව්වේ සිට පැමිණ සිටි චන්ද්‍රාවතී අම්මා අපේ කතාවට එසේ ජීවයක්‌ එකතු කළාය. එහෙත් මේ අසිරිමත් පුදබිමේ ආශ්චර්ය මෙන්ම හාස්‌කම් ගැන තව තවත් අපිට කතාබහර කිරීමට කාලය ඉඩ නොදේ. කළුවර වැටෙන්නට තව ඇත්තේ හෝරා දෙකකටත් අඩු කාලයකි. වෙනත් දිනයක සෝමාවතියේ දළදා පෙරහැර නරඹන බලාපොරොත්තුවෙන් අපි ඒ පුද බිමෙන් සමු ගත්තෙමු.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ විශ්මිත අතීත කතාව

ශ්‍රී ලංකාව අමිල වූ පූජනීය වස්තූන් රාශියකට හිමිකම් කියන දිවයිනකි. ඒ අතරින් අප රට සතු පූජනීයම වස්තුවක් ලෙස රුවන්වැලි සෑ රජාණන් වහන්සේ සැලකිය හැකියි. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ 8ක් වූ ධාතූන් වහන්සේලාගෙන් එක් ද්‍රෝණයක් තැන්පත් කර අනුරාධපුරයේ ඉදි කර ඇති මෙම සෑ රජාණන් වහන්සේ දුටුගැමුණු මහ රජතුමාගේ නිර්මාණයකි. මෙරට සියළුම බෞද්ධයින් රුවන්වැලි සෑ රජු ගැන බොහෝ විස්තර දැන සිටින අතර මෙම සටහනින් ඔබ නොඇසූ අප්‍රකට කරුණු රැසක් දැනගත හැකිවනු ඇත. රුවන්වැලි මහා සෑය එම ස්ථානයේ රියන් 120ක් උසින් ඉදිවන බව මිහිදු මහ රහතන් වහන්සේ විසින් දෙවනපෑතිස් රජුට පවසා ඇති බව මහාවංශයෙහි සඳහන් වේ.

එය ඉදිකිරීමට සුදුසු ස්ථානය දේවානම් පියතිස්ස රජු විසින් ස්ථම්භයක් ඉදිකොට සලකුණු කර තබා ඇත. එළාර රජු සමඟ යුද්ධයෙන් ජයග්‍රහණය කළ දුටු ගැමුණු මහ රජු තම මුත්තනුවන් මිහිදු හිමියන්ගේ අනාවැකියෙන් පසු ස්ථාපනය කළ ස්ථම්භය පිහිටි ස්ථානයේ රුවන්වැලි මහ සෑය නිමවා ඇත. රුවන්වැලි සෑයේ වැඩ අරඹා ඇත්තේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයකයි. මුලින්ම සෑය ඉදිකිරන භූමිය සමතලා කරන ලදී. ඉන්පසු එය රියන් හතක ගැඹුරට කැණ එහි වක්‍රාකාර ගල් අතුරන ලදී. එම ගල් මිටියෙන් කඩා ඉන්පසු එය ඇතුන් ලවා පාගවන ලදී.

එම ගල් ස්ථරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, රළු බදාමය මත තිරුවාණද,තිරුවාණ මත යකඩ ජාලයක්ද, යකඩ ජාලය මත සුවඳැති මැටිද,සුවඳැති මැට්ට මත සුදු පාෂාණද, සුදු පාෂාණ මත සෙල් පිලිමිණිද, ඒ මත ගල් පුවරුද අතුරවන ලදී. ඉන්පසු රසදිය, අලිගැටපේර ලාටු හා පදම් මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල් පුවරු ඒ මත අතුරුවා, ඒ මත අඟල් අටක ඝනකම් ඇති ලෝකඩ පත් අතුරවන ලදී.එම ලෝකඩ පත් මත ආසනියම් හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරවා ඒ මත අඟල් හතරක් ඝනැති රිදී පත් තැන්පත් කරවන ලදී. මෙසේ සෑයේ අඩි තාලම සාදවා, සෑයට මුල්ගල් තබා ඇත්තේ ඇසළ පුර පසළොස්වක පෝය දිනයකය. එම උත්සවයට රහතන් වහන්සේලා අනූහය කෝටියක් අහසින් වැඩම කළ බව ථූප වංශයෙහි සඳහන් කර ඇත. ආසියාව, මැදපෙරදිග රටවල් විශාල ප්‍රමාණයකින් මුල්ගල් තැබීමේ උත්සවයට රහතන් වහන්සේලා සහභාගී වීම එකළ සිංහල දේශය ලොව පතලව පැවතීමට හොඳම සාධකයක් ලෙස සැලකිය හැකියි. මේ දාගැබ බඳින්නට සුදුසු නිර්මාණකරුවෙක් සොයා ගැනීමද රසවත් කථාවකි. දුටුගැමුණු රජතුමා රට පුරා අඬබෙර යැවීමෙන් පසු නිර්මාණකරුවන් 500ක් පමණ දාගැබ බැදීමේ වගකීම ගැනීමට පැමිණ සිටියත්, ඒ කිසිවකුගේ අදහසකට රජුගේ සිතෙහි ප්‍රසාධයක් ඇති නොවීය. එහෙත් එක් තරුණ නිර්මාණකරුවකුගේ පැහැදිලි කිරීමට එතුමා පැහැදුණේය. පසුව ඔහුගෙන් දාගැබ බැදීමට සුදුසු හැඩය විමසා සිටිය අතර එවිට නිර්මාණකරුගේ ශරීරයට ආවේශ වූ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා දිය තලියක නැගෙන දිය බුබුලක් පෙන්වා එම හැඩය සුදුසු යැයිද, දිය බුබුළ අනිත්‍ය බව පසක් කරන හොඳම සාධකයක් යැයිද පවසා සිටියා. එයින් ඉතාමත් සතුටට පත් රජු නිර්මාණකරුවාට තෑගි බෝග පිරිනමා සෑය ගොඩ නඟන වගකීම ඔහුට භාරදුන් බව පැවසෙයි.

දාගැඛෙහි පහල පේසා වළලූ 3 නිම කිරීමට ගඩොල් කෝටි 10ක් වැය වූ බව ථූපවංශයෙහි සඳහන් කර ඇත. සෑයක් නිම කිරීමට වැඩිපුරම අවශ්‍ය වන ගඩොල් සෙයාගන්නේ කෙසේදැයි රජු හට විශාල ගැටළුක් ව තිබුණේ එතුමා කිසිවිටෙක යුද්ධයක් නිම කර විඩාවට පත්වී සිටි ජනතාවට මෙම වගකීම පැවරීමට ඇකමැති වීම නිසයි. මේ සිතුවිල්ල දැනගත් දෙවඟනක් එය දෙව්ලොව පුරා දෙවි වරුන්ට දැන ගැනීමට සැලැස්විය. මෙය දැනගත් විශ්වකර්ම පුත්‍රයා මල්වතු ඔයෙහි නිම්නයේ ගඩොල් මැවූ බවත් ථූප වංශයෙහි සඳහන් වේ. මීට අමතරව සෑයට අවශ්‍ය රන් අවුරුවිනී ග්‍රාමයෙන් ද, රිදී නැමැති ගල් ගුහාවෙන් රිදී ද, තම්බපින්න ග්‍රාමයෙන් තඹ ද සමන්වැව ග්‍රාමයෙන් මැණික් ද, උරුවෙල් නම් කුඩා නගරයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ වූ මුතු සහ පබලූ ද, පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මාණික්‍යය සතරක් ද ලබා ගත් බව සඳහන්. රුවන්වැලි මහා සෑයට ධාතූන් වහන්සේලා ලැබෙන අයුරු බුදුරජාණන් වහන්සේ විසින්ම කුසිනාරා නුවර සල් උයනේදී සක්දෙව් රජු කැඳවා පවසා තිබෙන බවත් පැවසෙයි. ‘‘මාගේ අට ද්‍රෝණයක පමණ ධාතූන්වහන්සේලා අතුරෙන් එක් ද්‍රොණයක් පමණ ධාතූහු කෝලිය රජ දරුවන් විසින් පුදු පූජා කරණු ලබන්නොහ. ඒ ධාතු ද්‍රෝණය එන දවස ලංකාද්වීපයෙහි රුවන්මැලි නම් දාගැබෙක්හි පිහිටන්නේය“ යි වදාළ සේක. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනෙන් පසු රාම ග්‍රාමයෙහි කෝලිය රජ දරුවන් ධාතූන් වහන්සේලා තැන්පත් කර නිමවූ දාගැබ පසු කළෙක මහ වැස්සකින් විනාශ වී එහි ධාතූන් වහන්සේ තැන්පත් කරඬුව මහා සාගරයට ගසාගොස් මහා කෙළ නම් නා රජුන්ට හමුවී තිබේ. සෝණුත්තර නම් සාමණේරයන් වහන්සේ විසින් නාලොවට වැඩම කොට නා රජුගේ උපායන්ගෙන් මිදී වාසුලදත්ත නම් නාගයාගේ කුසෙහි සඟවාගෙන තිඛෙන බව දැනගෙන, උන්වහන්සේ සතු සෘද්ධි බලයෙන් කුඩා අතක් මවාගෙන මහාමේර පර්වතය පාමුල සිටි වාසුලදත්තගේ කටට අත පොවා ද්‍රෝණයක් ධාතූන් වහන්සේ සහිත කරඬුව ගෙන පැමිණි බවයි සඳහන් වන්නේ. දුටුගැමුණු මහරජතුමා මහ සෑය ඉදිරිකිරීම ආරම්භ කළත් එතුමාට සෑය සාදා නිම වන තුරු ජීවත් වීමට හැකි නොවුණි.

ධාතු නිධානෝත්සවයෙන් පසු හතරැස්කොටුව දක්වා එතුමා විසින් මහ සෑය නිම කිරීමට සමත් විය. රජු මරණ මංචකයේ සිටියදී එතුමාගේ බාල සොයුරු සද්ධාතිස්ස කුමරු විසින් රෙදි වලින් කොත් කැරුල්ල නිමවා සෑය සාදා නිම කර ඇති ලෙස දුටුගැමුණු මහ රජුට පෙනෙන්නට සළස්වා ඇත. පසුව මහ සෑය සාදා නිම කළේ සද්ධා තිස්ස රජතුමා විසිනි. පසු කළෙක සිංහල රජ වරුන්ගේ අගනුවර අනුරාධපුරයෙන් ඈත් වත්ම රුවන්වැලි මහා සෑය ඇතුළු සියළු සෑයන් වල්බිහිවී ගරා වැටුණු අතර රුවන්වැලි සෑයේ කොත් කැරුල්ල, දේවතා කොටුව ගරා වැටී විනාශව පැවතුණි. මීට වසර සියයකට පමණ පෙර නාරාවිට සුමනසාර හිමියන්ගේ මූලිකත්වයෙන් නැවත පිළිසකර කළ රුවන් වැලි මහ සෑයේ චූඩාමාණික්‍යය පළඳවා ඇත්තේ 1940 ජූනි මස 17 වන දිනයි. වර්තමානයේ සුදෝ සුදුවන්ව බබළන රුවන්වැලි මහ සෑ රජු, බුදු රජුන් වැඩ සිටින සුගන්ධ කුටියට සම කළ හැකි අතර ලෝක බෞද්ධයින්ගේ උතුම් වස්තුවක් සේ පිදුම් ලබමින් විරාජමානව අනුරපුරයේ වැඩ සිටියි.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

බලන්න ඔබේ නිවසෙත් මේ වගේ දෝෂ එකක් හරි තියෙනවද කියලා. එහෙම තියෙනවනම් කිසිම දියුණුවක් නෑ

සමහර හදපු ගෙවල් අළුතින් අරගෙන හිතු මනාපෙට එම පිහිටීම් කඩලා වෙනස් කරනවා. දොර උළුවහු එක එක පැති වලට යොදනවා. ඒත් ඇත්තටම ඒ වෙනස් කිරීම එම ගෙදර ජීවත්වන අයගේ ජීවිතයට දැඩිසේ බලපානවද? මේ ලිපියේ කියන්න යන්නේ ඒ ගැනයි.

අම්මා උදරයේ පිළිකාවක් වැළඳිලා මියයද්දී අම්මාට අවුරුදු 48 යි. ගහක් ගලක් වගේ හිටිය අම්මාගේ මරණයට ගොඩක් අය දොස් කීව්වේ රමේෂ්ට. හිතුමතේට ගේ වෙනස් කරලා අම්මා මරා ගත්තා කියලයි. අම්මාගේ ජීවිතයේ අවසන් දවස් වෙද්දී අම්මා වේදනාවෙන් කෑ ගැහුවා. මව ළඟ රැඳුණු රමේෂ් අම්මාට නින්ද යන්න කියලා එළි වෙන තුරු පිරිත් කිව්වා. තාත්තා රට ඉඳන් එවපු සල්ලියි, රමේෂ් රස්සාවෙන් ඉතිරි කර ගත් මුදලින් පැරණි නිවසට අලුතින් කොටස් එකතු කරලා අලුත්වැඩියා කළා. එයින් අවුරුදු දෙකකට පස්සේ ඔවුන්ගේ ජීවිතවලට අවාසනාව පැමිණියේ වසංගතයක් ලෙසින්. රමේෂ් ජීවිතය අන්තයටම කලකිරිලා හිටියේ. ගිහිගෙය හැර දාලා යන්න හිතන් හිටියත් මවගේ මරණයෙන් මාසයක් යන විට ගෙදර ඉන්න බැහැ කියලා නැන්දලාගේ ගෙදර පදිංචියට යන්නේ රමේෂුයි, නංගියි, ආච්චි නිවසේ තනි කරමින්. රමේෂ් මේ දේවල් වලින් තවත් අසරණ වුණා. තාත්තාට ලංකාවේ පදිංචියට එන්න තිබුණේ හරියටම මාස හයයි. නංගීත් සැරින් සැරේ අසනීප වෙන්න ගත්තේ මේ අතර. අම්මාගේ ඉරණමටම නංගිටත් මුහුණ දෙන්න වෙයි කියලා රමේෂ් බය වුණා. මේ තරම් විනාශයක් ඇති වෙන්ඩ හේතුව ගෙදර පවතින දෝෂයක් යැයි සිතූ රමේෂ් නිවසේ වාස්තු පරීක්ෂා කළා. ඇත්තෙන්ම මවට මාරක ගෙන දීමට හේතු සාධක වූ නිවසේ තිබූ වාස්තු දෝෂ බව ඔහුට වැටහුණා. ඒවා ඉවත් කිරීමට යෙදිය යුතු පිළියම් මෙසේය.

කුස්සියේ දොර උළුවස්ස මර්මස්ථාන රේඛාවකට කැපීම
වාස්තු විද්‍යාවේදී කුස්සියේ දොර උළුවස්ස නිවසක බිරිඳ නියෝජනය කරනු ලබයි. මර්මස්ථාන රේඛා යනු නිවසේ හරි මැද එනම් බ්‍රහ්ම පාදයේ සිට එකතු කිරීමේ ලකුණක් ආකාරයෙන් ගමන් කරන නිවස සමාන්තර කොටස් 4 බෙදා වෙන් කරන රේඛා හතරය. දොර උළු වස්සක් හරහා මෙම රේඛාවක් ගමන් කිරීම මර්මස්ථාන දෝෂය ලෙස හැඳින්වේ. මරමස්ථානයක කුස්සියේ දොර පිහිටි විට බිරිඳට මාරක, හදිසි අනතුරු, දරුණු රෝගාබාධ ඇති වේ. බිරිඳ දැඩි කායික මානසික පීඩාවට බඳුන් වේ. ගෙදර බිරිඳ නොමැති නම් වැඩි මහල් දියණියට දෝෂය බලපායි. කුස්සියේ දොර උළුවස්ස ගලවා වෙනත් සුබ පාදයක තැබීම හෝ නිවසට නව කොටසක් එකතු කිරීමෙන් මරමස්ථාන දෝෂය ඉවත් කළ හැක.

නාන කාමරය ඉදි කිරීමේදී කුරුස පාදමක් වැටීම
සාමාන්‍ය ව්‍යවහාරයේදී මිනිසුන් කුරුස බිත්ති ගැන කතා කරයි. නමුත් වාස්තු විද්‍යාවේදී කුරුස හට ගන්නේ අත්තිවාරම තුළයි. මෙය පොළොව යට සැඟව තිබෙන මතු පිටින් පහසුවෙන් නොපෙනුණත් බිත්ති බැඳ තිබෙන ආකාරයට අනුව කුරුස පාදමක් වැටී ඇති බව නිරීක්ෂණය කළ හැක. අත්තිවාරමේ කුරුස තිබීම නිවැසියන්ට මාරක පිළිකා වැනි රෝග ඇති කරයි. දෝෂය ඉවත් කිරීමට බිත්ති කඩා ඉවත් කිරීමෙන් පළක් නොවේ. කුරුසය අත්තිවාරමෙන් සම්පූර්ණයෙන් ගලවා ඉවත් කළ යුතුය.

බ්‍රහ්ම පාදය පීඩා වන සේ නාන කාමරයක් ඉදිකිරීම.
නිවසේ හරි මැද බ්‍රහ්ම පාදය වාස්තු පුරුෂයාගේ හදවතයි. බ්‍රහ්ම පාදය මත ඉදිකිරීමක් නොකළ ද මර්මස්ථාන රේඛාවකට හසු වන පරිදි නාන කාමර වැසිකිළි ඉදි කළ හොත් බ්‍රහ්ම පාදය පීඩාවේ. මෙම නිවසේ නාන කාමරය ඉදි කර තිබුණේ වාස්තු පුරුෂයාගේ නාභියෙන් ඉහළ පීඩාවන ලෙසය. මෙලෙස පිහිටීමෙන් නිවැසියන්ගේ උදරය, පිට කොන්ද ආශ්‍රිතව සුව නොවන තුවාල, ගෙඩි, සැත්කම් ආදිය ඇති වේ. තිබෙන ස්ථානයෙන් නාන කාමරය ඉවත් කිරීමෙන් හෝ නිවසට නව කොටසක් ඉදිකිරීමෙන් දෝෂය ඉවත් කළ හැක.

කුස්සියේ දොර කෙළින් වැසිකිළි වළ තිබීම.
මෙලෙස තිබීමෙන් ගෙදර බිරිය පීඩාවට පත් වේ. නිරත්තරයෙන් රෝග පීඩා හා මානසික පීඩා ඇති වේ. බාහිර කරදරවලින් ද නිවැසියෝ පීඩාවට පත් වෙති. මෙය බිරියගේ ජීවන ගමන අහුරාලන පිහිටීමකි. දොර තිබෙන තැනින් ගලවා ඉවත් කිරීමෙන් මෙම දෝෂය ඉවත් වේ.

රමේෂ් විසින් තම මෑණියන්ට මාරක ගෙන දුන් මෙම දෝෂයන් ඉවත් කළ අතර ඔහු දැන් විවාහ වී නිවසේ සතුටින් දිවි ගෙවයි.

අමාලි අගස්පතිරණ වාස්තු ජ්‍යොතිෂවේදී ඉංජිනේරු සැලසුම් ශිල්පී.
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)