කපලා ඉවත දාන කෙසෙල් කඳන් මත ගෘහස්ථ එළවළු වගාවක් පටන් ගන්න විදිය

තෙතමනයෙන්-පොහොසත් කෙසෙල් කඳන් මත ගෘහස්ත එළවලු වගාව පාරිසරික යෝග්‍ය ක්‍රමයක් ලෙස භාවිතා වේ. විශේෂයෙන් උග්‍ර ජල හිඟයක් ඇති ප්‍රදේශවල ගොවීන්ට, විවිධ වාරිමාර්ග ක්‍රම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීමේ අපහසුතාවයෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීමට මෙම සුවිශේෂී ක්‍රමය සමත් වේ.ලොව පුරා බහුලව දක්නට ලැබෙන සහ ලාභදායී බෝග වලින් එකක් වන කෙසෙල් ශාකය විශේෂිත කාල වලදී පමණක් වැඩිපුර පල හටගන්නා සෘතුමය පලතුරු ශාක මෙන් නොව ජන විකාශනය නොසලකා සෑම ගෘහයකම පාහේ නිරන්තරයෙන් දක්නට ලැබෙන එක් නිරහංකාර පලතුරකි.කෙසෙල් වල අත්‍යාවශ්‍ය පොටෑසියම්, කැල්සියම්, මැන්ගනීස්, මැග්නීසියම්, යකඩ, ෆෝලේට් (folate), නියාසින් (niacin), රිබොෆ්ලැවින් (riboflavin) සහ බී 6 ඇතුළු විටමින් සහ ඛනිජ ලවණ අඩංගු වේ. මේවා අපගේ ශරීරයේ යහපත් සෞඛ්‍යයට සහ නිසි ක්‍රියාකාරිත්වයට වැඩි වශයෙන් දායක වේ. තවද මෙම පලතුරු වල විශාල වශයෙන් ඇති පෝෂණ අන්තර්ගතය මෙන්ම එහි ප්‍රතිලාභ පලතුරෙන් පමණක් නතර නොවේ.

කෙසෙල් කොළ වලින් ආහාර අනුභව කිරීමේ පරිසර හිතකාමී සම්ප්‍රදාය ඉන්දියානු ශිෂ්ටාචාරය තරම් පැරණි වන අතර උත්සව අවස්ථාවන්හිදී කේරළයේ වර්තමානයේදීද සුලභ දසුනකි.එහෙත් ශාකයේ වඩාත්ම නොසලකා හරින ලද කොටස් වලින් එකක් වන්නේ පලතුරු නිෂ්පාදනයෙන් පසු නොසලකා හැරීමෙන් බොහෝ විට නාස්ති වන එහි කඳයි. කඳේ මෘදු අරටුව ඉන්දීය දේශීය ආහාරවල කොටසක් වන අතර ලොව කෙසෙල් නිෂ්පාදනයේදී එරට ඉදිරියෙන් සිටීන නමුත් කෙසෙල් කඳේ අමතර භාවිතයන් එතරම් ව්‍යාප්තව සිදු නොවේ. ඉන්දුනීසියාව වැනි රටවල කෙසෙල් කඳ, කෙටි හෝ කුඩා මුල් සහිත පැලෑටි වගා කිරීම සඳහා මාධ්‍යක් ලෙස භාවිතා කරයි. මෙම ක්‍රමය වඩාත් ව්‍යාප්තව භාවිතා කිරීමෙන් නිසැකවම රටේ කෘෂිකර්මාන්තය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි අතර නිතිපතා සිදුවන ටොන් ගණනක් වූ කෙසෙල් ගස් ආශ්‍රිත නාස්තිය අඩු කරයි.

අදාළ බෝග හෝ උද්‍යාන පැලෑටි වල ගති ලක්ෂණ අනුව පිහියකින් කඳේ සුදුසු දුරස්ථ ස්ථාන වලින් සිදුරු හෑරීමෙන් පසු ඒවා පසෙන් පුරවා එම වලවල් වල කෙටි/ කුඩා මුල් සහිත (fibrous / shallow roots) බීජ හෝ පැළ රෝපණය කළ හැකිය. නිසි බෝග වාතනය, සමබර වර්ධනය සහ පොකුරු වළක්වා ගැනීම සඳහා බීජ පැල අතර පරතරය අවම වශයෙන් සෙ.මී.30-40 ක් විය යුතුය. පැල සිටුවීමට පෙර සිදුරු පුරවන අතරතුර ඒ සඳහා හොඳ සරු පස් භාවිතා කිරීම මගින් පැළෑටිවල හොඳ වර්ධනයට පහසුකම් සැලසිය යුතුය.කෙසෙල් කඳේ අපූරු ජලය රඳවා ගැනීමේ හැකියාව නිසා එහි ඇති ජලයද වලවල් පුරවා ඇති පසෙන් පෝෂ්‍ය පදාර්ථද උරා ගත හැකි බැවින් කෙසෙල් කඳන් මත වගා කරන බෝග හා පැළෑටි සදහා බාහිරෙන් ජලය සැපයිය යුතු නොවේ. කෙසෙල් කඳ ඉතා දිගු කාලයක් පවතින අතර කඳන් දිරාපත් වූ විට ඒවා පස වඩාත් සාරවත් කරයි. තවද මෙම වගා ක්‍රමය නිසා වල් පැලෑටි ආසාදනය වීමේ සම්භාවිතාව සාපේක්ෂව අඩු වනා අතර ඒ සඳහා කිසිදු ආකාරයක ඉහළ තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවේ. එනිසා මෙම ක්‍රමය ගොවීන්ට හා කෘෂිකාර්මික ආයතනවලට පමණක් සීමා නොවී නාගරික හෝ සීමිත බිම් ප්‍රමාණ වල ගෙවතු වගාවන් සඳහාද යොදා ගත හැකි බව වාර්තා වේ.

(අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ හර්ෂ ලංකේශ්වර)