පිපිඤ්ඤා වතුර දිනපතාම පානය කළොත් ඔබේ ශරීරයට මේ වටිනා සෞඛ්‍යමය ප්‍රතිලාභ ලැබෙනවා

සාමාන්‍යයෙන් තිබහක් ඇති වුන වේලාවට කරන්නේ ජලය වීදුරුවක් පානය කරන එක. නමුත් ඔබ දන්නවාද සාමාන්‍ය වතුර පානය කරනවා වෙනුවට , පිපිඤ්ඤා වතුර පානය කිරීමෙන් ඔබට ඉතාම ප්‍රයෝජනවත් සෞඛ්‍යමය ප්‍රතිලාබ රාශියක්ම ලගා කරගන්න පුළුවන් බව.මෙම ලිපියෙන් අපි කතා කරන්න යන්නේ , අන්න ඒ වගේ පිපිඤ්ඤා වතුර පානය කිරීමෙන් ලබා ගත හැකි අනර්ඝ සෞඛ්‍ය වාසි 7ක් පිලිබදව.

මාංශ පේශි නිරෝගීව පවත්වා ගන්නවා
පිපිඤ්ඤා තුල ඇති සිලිකා මගින් ඔබේ ශරීරයේ සම්බන්ධක පටක නිරෝගී කරනවා. විශේෂයෙන්ම ඔබ දිනපතා පිපිඤ්ඤා වතුර පානය කරනවා නම්, වඩාත් හොඳින් මාංශ පටක නිරෝගිව තබා ගැනීමට පුළුවන්. ඔබේ වතුර බෝතලයට පිපිඤ්ඤා පෙති කිහිපයක් එකතු කර පානය කරන්නට හැකි නම් එමගින් ඔබේ මාංශපේශි වලට අවශ්‍ය ඛණිජ පහසුවෙන්ම ලබාගත හැකි වෙනවා. ව්‍යායාම කරන අතරතුර පිපිඤ්ඤා වතුර භාවිත කිරීමෙන්ද වඩාත් හොඳ ප්‍රතිපල ලබාගන්නට පුළුවන්.

පිපිඤ්ඤා වතුර ඔබේ සමටත් හිතකරයි
සිලිකා වලට අමතරව , පිපිඤ්ඤා වල අඩංගු ප්‍රතිඔක්සිකාරක මගින් ඔබේ සමට දීප්තිමත් පෙනුමක් එකතු කරනවා. ඔබේ සමේ කුරුලෑ ආසාධන තත්වයක් පවතී නම්, සීතල ජලයෙන් පොඟවා ගත් පිපිඤ්ඤා පෙති, කුරුලෑ මත ආලේප කිරීම මගින් ඉක්මන් සුවයක් ලබා ගැනීමට පුළුවන්. එමෙන්ම පිපිඤ්ඤා ජලයෙන් මුහුණ සේදීමෙන්ද කුරුලෑ ආසාධාන වලට සුවයක් අත් කර ගෙන සම දිදුලන පෙනුමකින් පවත්වා ගත හැකියි.

කැලරි අඩු පානයක් නිසා ශරීරයට හිතකරයි.
අපි දවස පුරා ප්‍රබෝධමත්ව සිටීමට , විටින් විට විවිධ පාන වර්ග , බීම වර්ග භාවිතා කරනවා. නමුත් සීනි අධික ලෙස යෙදු මෙම රසවත් පාන වර්ගවල අති විශාල කැලරි ප්‍රමාණයක් අඩංගු වෙනවා. අධික කැලරි පාරිබෝජනය නිසා සිරුර තරබාරු වීම ඇතුළු ලෙඩ රෝග රැසක්ම වැළදීමට පුළුවන්. නමුත් සාමාන්‍ය ප්‍රමාණයේ පිපිඤ්ඤා ගෙඩියකම අඩංගු වන්නේ කැලරි 45ක් තරම් ඉතා සුළු කැලරි ප්‍රමාණයක් පමණයි. මෙම නිසාවෙන් පිපිඤ්ඤා පෙති කිහිපයක් ජලයට එක්කර පානය කිරීමෙන් , සෞඛ්‍යට අහිතකර නොවන ලෙසින් , ශරීරයට ප්‍රබෝධමත් බවක් එකතු කර ගැනීමට පුළුවන්. එම නිසා මීට පස්සේ පැණි බීම එකක් බොන්න හිතෙන වෙලාවට වතුර එකට පිපිඤ්ඤා පෙත්තක් එකතු කරලා බීල බලන්නකෝ , මොන තරම් ප්‍රබෝධමත් බවක් අත් වෙනවද කියලා.

ශරීරයේ විෂ ඉවත් කරනවා
පිපිඤ්ඤා වතුර කියන්නේ ශරීරයේ විෂ හරණය කිරීමට යොදා ගන්නා ලොව ප්‍රචලිතම පානය කිව්වොත් වරදක් නෑ. ඒතරමටම පිපිඤ්ඤා වතුර ලොව පුරා සෞඛ්‍ය ගැන උනන්දුවක් දක්වන මිනිසුන් පාරිබෝජනය කරනවා. පිපිඤ්ඤා යුෂ වලට , මිනිස් ශරීරයේ සියලු පද්ධති වල ඇති විෂබිජ හා විෂ වර්ග ඉවත් කිරීමේ හොද හැකියාවක් තිබෙන නිසා , ඔබත් දිනපතා පිපිඤ්ඤා වතුර පානය කිරීම පුරුද්දක් කර ගන්න.

ශරීරය සජලව පවත්වා ගන්නවා
මිනිස් ශරීරය සෑම විටම සජලව පවත්වා ගත යුතුයි. විශේෂයෙන්ම උෂ්ණාධික දින වලදී ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම ඉතාම වැදගත් වෙනවා. පිපිඤ්ඤා ජලය මගින් ශරීරය ඉතාම හොදින් සජල කර ගැනීමේ හැකියාව තිබෙනවා. නිවැරදි ශරීර උෂ්ණත්වයක් පවත්වා ගැනීමට සහ හෘදවාහිනි පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය සදහාද ශරීරය සජලව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

අමතර ශක්තියක් ලබා දෙනවා
කැෆෙන් හෝ සිනි අඩංගු වෙනත් ශක්තිජනක පානයක් පානය කරනවා වෙනුවට , පිපිඤ්ඤා වතුර පානය කිරීමෙන් ඔබේ ශරීරයට අමතර ශක්තියක් ස්වභාවිකවම ලබාගත හැකි වෙනවා. විශේෂයෙන්ම පිපිඤ්ඤා ජලය මගින් ශරීරයේ විෂ ඉවත් කරන නිසා , තෙහෙට්ටුව ඇතිවීම වැළකෙනවා. ඒ වගේම දවස පුරා ජව සම්පන්නව හා හොද අවධානයකින් වැඩ කිරීමේ හැකියාවද ඔබට ලැබෙනවා.

විටමින් සහ ඛණිජ වර්ග වලින් පෝෂණීයයි
අපි හැමෝම දන්නවා වතුර කියන්නේ අපේ ශරීරයට ඉතාම හොඳ දෙයක් කියලා. හැබැයි අපි පානය කරන සාමාන්‍ය වතුරේ විටමින් සහ ඛනිජ අඩංගු වෙන්නේ නැහැ. මෙන්න මෙතැනදී තමයි අපිට පිපිඤ්ඤා වැදගත් වෙන්නේ. පිපිඤ්ඤා තුල විටමින් සහ ඛනිජ වර්ග රාශියක් අඩංගු වෙනවා. මේ නිසා නිකන් ජලය පානය කරනවට වඩා වැඩි පෝෂණයක් , ජලයට පිපිඤ්ඤා පෙති කිහිපයක් එකතු කර පානය කිරීමෙන් ලබා ගත හැකි වෙනවා.

එහෙනම් යාලුවනේ මීට පස්සේ වතුර විතරක් නිකන් බොන්නේ නැතුව , පිපිඤ්ඤා පෙති කිහිපයක් එකතු කරලා සතියක් දෙකක් බීලා බලන්නකෝ. පිපිඤ්ඤා වතුර සාදා ගැනීමත් හරිම ලේසියි. ඔබට කරන්න තියෙන්නේ දවස තුල , ඔබ බීමට අපේක්ෂා කරන ලොකු ජලජෝගුවකට, පිපිඤ්ඤා පෙති කිහිපයක් එකතු කර ගැනීම පමණයි. මේත් එක්කම ලෙමන් පෙත්තක් සහ මින්ට් කොළ කිහිපයක් මේ ජල ජෝගුවටම එකතු කරලා බොන්න පුළුවන් නම් තවත් හොදයි.

(උපුටාගැනීම විශ්ම ලෝකය වෙබ් අඩවිය)