ස්වාභාවික දරු ප්‍රසූතිය පහසු කරවන කැඳ වර්ග සහ කසාය වර්ග හදන හැටි

දරු ප්‍රසූතිය ආසන්නයේ සිටින තරුණ ගැබිනි මවුවරු බොහෝ දෙනෙක් ඒ දින කිහිපය ගත කරන්නේ තරමක චකිතයකින්. ඊට හේතුව තමයි ප්‍රසූති වේදනාව හා ප්‍රසූතිය අපහසු කටයුත්තක් වේ යැයි යන දෙගිඩියාව. දෙගිඩියාව නැත්තටම නැති කරගත හැකි, ඒ වගේම සිසේරියන් සැත්කමකින් තොරව මේ දරුවා බිහි කිරීමට මඟ පාදන වටිනා කැඳක් හා කසායක් අපේ ඉපැරැණි වෙද පත පොතෙහි සඳහන්.

මේ කැඳ දින 03 ක කාලයක් උදේට හිස් බඩට පානය කර පස්වරුවේ කසාය පානය කිරීමෙන් දරු ප්‍රසූතිය වේදනාවෙන් හා අපහසුවෙන් තොර කටයුත්තක් බවට පත්වෙනවා.

කැඳ සාදාගන්නා ආකාරය.
මුලින්ම වැල් තිබ්බටු කොළ පොල් සමඟ කොටා අඬු කෝප්ප භාගයක් පමණ වනතුරු මිරිකාගෙන පැත්තකින් තබා ගන්න. ඉන්පසුව තණ හාල් මිටක් අරගෙන එය නැවුම් මැටි මුට්ටියකට දමා සුදුසු පරිදි වතුර එකතු කර ළිප තබා කැඳ හදාගන්න. ඊට අවශ්‍ය පරිදි පදමට ලුණු ස්වල්පයකුත් එකතු කරන්න. එසේ හදාගත් කැඳ ළිපෙන් බාන්න. හදන මොහොතේ පොල් සමඟ කොටාගත් වැල් තිබ්බටු සාරය මේ කැඳ මුට්ටියට මිශ්‍ර කර ඒ මොහොතේම ළිපෙන් බාගන්න. ඉන්පසු එය නිවෙනතුරු පොල්කටු හැන්දකින් කාල් ගාන්න. සාදාගත් කැඳ අංගුලිමාල පිරිතෙන් ජීවම් කර පානය කරන්න.

බොහෝවිට ප්‍රසූතිය ආසන්න තරුණ මවුවරුන් ගේ උඩු පතුල් ඉදිමීම හා වාත දෝෂ කිපීම නිසා පාද ඉදිමීමත් සිදුවෙනවා. ඒ තත්වයෙන් අත්මිදීම සඳහාත් ප්‍රසූතිය පහසු කර ගැනීම සඳහාත් පහත සඳහන් කරන කසාය දින 03 ක් භාවිතයට ගැනීමෙන් එම මවුවරුන්ට සැනසිලි දායක තත්වයක් උදාකරගත හැකියි.

කසාය සාදාගන්නා ආකාරය.
ඒ සඳහා බැබිල මුල්, සුදු ළූණු හා උළුහාල් කළං හතර බැගින් ගෙන ඊට වතුර කාල් හතරක් ( බෝතලයක් ) එකතුකර නැවුම් මුට්ටියකට දමා එය එක් කාලක් වනතුරු හිඳගන්න. ඉන්පසුව පස්වරු 4 ත් 5 ත් අතර කාලයේ දී මෙම කසාය අංගුලිමාල පිරිතෙන් ජීවම් කර පානය කරන්න. ඒ වන විටත් ප්‍රසූතිය ආසන්න ගැබිනි මවුවරු රෝහල්ගතව සිටිනවා නම් එය රෝහලට ගොස් වුවත් භාවිතා කිරීමේ කිසිදු හානියක් නැහැ.

මෙම ප්‍රතිකාර පන්ති දෙකම අපගේ පාරම්පරික හෙළ වෙදකමේ ප්‍රසූතිය පහසු කරන ඉතාම අත්දුටු ප්‍රතිකාරයකි..

තොරතුරු :- වෛද්‍යාචාර්ය එන්. බී. වීරප්පෙරුම මහතා
සැකසුම :- හෙළ අරණ™️

(උපුටාගැනීම හෙළ අරණ Hela Arana)