පිළිස්සුම් තුවාල කැළැල් නැතිව සුව කරන පන්වත්තෙ ගෙදර පොඩි අප්පුහාමි වෙදැඳුරුතුමා

ඔබේ සිරුරේ කුමන හෝ ස්ථානයක් පිළිස්සීමකට ලක් වූ අවස්ථාවක් ඔබට මතකද? එදා ඔබට දැනුණු වේදනාව මතක් කරනවාට වත් ඔබ කැමැති නැතිව ඇති. ඉතා කෙටි කාලයක් තුළ පිළිස්සුම් වේදනා නැති කර, ටික දිනක් යන විට කැළැල් රහිතව තුවාල සුව කරන වෙද මහත්මයකු ලෙස ප්‍රකට පන්වත්තේ ගෙදර පොඩි අප්පුහාමි මහතා, තමන් කරන මේ විශේෂ ප්‍රතිකාර පිළිබඳ අප හා අදහස් දැක්වූයේ මෙසේ ය.

කැළැලක් නොසිටින පරිදි පිළිස්සුම් තුවාලවලට බෙහෙත් කිරීමේ වෛද්‍ය ශාස්ත්‍රය ඔබට ලැබුණේ කොහොමද?
මේ ශාස්ත්‍රය පරම්පරාවෙන් පැවැත එන එකක්. මට පෙර මගේ අම්මා සහ මාමා මේ ශාස්ත්‍රයෙන් ලෙඩුන් සුව කළා. ඊට පෙර මගේ මවගේ පියා මේ වෙදකම කර තිබෙනවා. මේ ආකාරයට පරම්පරානුගතව පැවැති එන වෙද ශාස්ත්‍රයක් විදිහට පිළිස්සුම් තුවාලවලට ප්‍රතිකර්ම කිරීම හඳුන්වන්න පුළුවන්. බුද්ධදාස රජතුමාටත් පෙර සිට ම පරම්පරානුගතව ආ වෙදකමක් විධිහටයි මං මෙය විශ්වාස කරන්නේ.

සිංහල වෙදකම අනෙක් සියලු ප්‍රතිකර්මවලට වඩා ප්‍රබලයි. සමහර වෙද හෙදකම් ක්‍රම අප අතරින් තුරන් වෙලා. ඒත් අපි මේ වෙදකම රැකගෙන ඉන්නවා. මේ ශාස්ත්‍රයේ වටිනාකම කවුරුත් දන්නෙ නෑ. මගේ අත්තගෙන් පස්සේ මාමා බෙහෙත් කළා. ඒ පරපුර එතනිං ඉවර වුණා. මගේ අම්මා වෙදකම කළ නිසා එය මට ලැබුණා. මගේ සහෝදර සහෝදරියො හය දෙනෙක් ඉන්නවා. ඒත් ඒ අයට මේ ශාස්ත්‍රය තේරෙන්නෙ නෑ. මං පොඩි කාලෙ ඉඳන් ම උනන්දුවෙන් හැදෑරුව නිසා මේ ශාස්ත්‍රය මට පිහිටියා. තවමත් මේ වෙදකම අපේ පරම්පරාවෙන් පිට ගියේ නෑ.

ඔබ සුවපත් කරන්නෙ සාමාන්‍ය පිළිස්සුම් තුවාල ද?
තුවාලය ලොකු වුණත්, පොඩි වුණත් ඒක සුව කරන්න පුළුවන්. මරණීය මට්ටමේ තුවාල නැත්නම්, කිසිම ආකාරයකින් හෝ පිළිස්සුන බව පෙන්වන කැළැලක් නැතිවන පරිදි සුවය ලබා දෙනවා. පිළිස්සීම සිදු වුණේ උණු වතුරෙන් හරි, ගින්දරෙන් හරි වෙන්න පුළුවන්. ඒ කුමන තුවාලයක් වුණත් සුව කරන්න මට හැකියාව තිබෙනවා.

දරුණු ලෙස පිළිස්සුණු අය සුවපත් කළ අවස්ථා ඔබට මතකද?
ලොරියක් වැඩ කරන කෙනෙක්, තමන්ගෙ ලොරිය උණුසුම් කරනකොට (boil වන විට) ඒක ඇරලා බලලා. උණු වතුර ටික එක පාරට ම මුහුණට විසිවෙලා ඇස්දෙක අරින්න බැරි තරමට මුහුණ පිච්චුණා. ඒ සිද්ධියට මුහුණ පෑ ගමන් ම එයා ආවා. දවස් හතරක් ඇස් දෙක අරින්න බැරිව හිටියා. ඒ පුද්ගලයාට එහෙම සිදුවීමක් වුණා කියලා හොයන්න බැරි තරමටම සුවය ලැබුණා. දරුවා බේසමේ හිටිද්දී එයාගෙ අම්මාට අමතක වෙලා නටන වතුර එකක් බේසමට හලලා පිච්චුණු ළමයෙක් ව ගෙනාවා. ඒ දරුවා සුවපත් කරන්න මට හැකි වුණා. මේසෙ ඉටි රෙද්ද ඇදලා චිමිනි ලාම්පුවක් ඇඟට වැටිලා පිළිස්සුණු පොඩි ළමයෙක් ව කෙසෙල් කොළයක තියලා සුවපත් කළා. පෙට්ට්‍රල් මැක්ස් ලාම්පුවක මැන්ටල් එක කඩාගෙන ඇවිත් මුණ පිච්චුණු අයෙක්ව මෑතකදී සුව කළා.

අවුරුදු කාලෙට පිළිස්සුණු අය එනවා වැඩියි. ඒ අතරින් වැඩි දෙනෙක් රතිඤ්ඤා හෝ තෙල් තාච්චිවලට පිළිස්සුණු අය. මෑතකදී මංගල උත්සවයට දින හතරකට පහකට පෙර හොදි ඇතිලියක් වැටිලා මනමාලිගෙ මුහුණයි, පපුවයි පිච්චුණා. එයා මංගල උත්සවය දවසෙ පෙර සිටි පරිදි හිටියා. එයාව දැක්කහම ඒ වගේ ඇබැද්දියක් වුණා කියලා කොහෙත්ම හිතන්න බෑ. පාරෙ තාර දාන කෙනෙක්ගෙ කකුලට නටන තාර භාජනයක් පෙරළිලා අරන් ආවා. එයාට සම්පූර්ණ සුවය ලැබුණා.

ඕනෑම පිළිස්සුම් තුවාලෙක කැළැල් හිටිනවා. කැළලක් නැතිව සුවපත් කිරීමේ හැකියාව ඔබට ලැබුණෙ කොහොමද?
එවෙලේම කඩා ගත්ත අමු බෙහෙත් ගස් කොළවලින් බේත් හදන්නෙ. ගෙවත්තෙන් මේ බෙහෙත් හොයා ගන්නවා. පිළිස්සුණු කෙනෙක් ගෙදර ඇවිත් විනාඩි 10 ක් යනවිට වේදනාව නැති කරනවා. තමන්ට සුවය ලැබුණු බව රෝගියා එවිට පවසන්න පුළුවන්. ඉන් අනතුරුව, බෙහෙත් සකසලා ගානවා. ඒ ඒ පුද්ගලයාගේ පිළිස්සුම අනුව බෙහෙත් ගාන දින ගණන වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සෙ අප විසින් ම සකසා ගන්නා තෙල් වර්ගයක් ගානවා. මේ තෙල් සකසන එක හරිම දුෂ්කර කටයුත්තක්. බෙහෙත් සොයා ගැනීමේ දුෂ්කරතා නිසා මේ වැඩේ කරන්න මාසයක් පමණ ගතවිය හැකියි.

වරකට අපි තෙල් බෝතල් තුනක් පමණ හිඳිනවා. ගෙදරදී වන පොඩි පොඩි පිළිස්සුම් තුවාලවලට වුණත් මේ තෙල ගෙනිහිං තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. තෙල් හිඳින කාලයේදී මස්, මාළු, බිත්තර, කන්නෙ නැතිව අපි ඒක කරන්නෙ. රෝගියාට දෙන්නෙත් නෑ. බැරිවෙලා හරි කෑවොත් රෝගී තත්ත්වය වැඩි වෙන්න පුළුවන්.

නිවෙසෙදී පිළිස්සුණු කෙනෙක්ට ප්‍රතිකාර ගැනීමට යාමට පෙර දිය යුතු ප්‍රථමාධාර මොනවාද?
බිත්තර සුදු මදය විතරක් අරගෙන පිළිස්සුන තැන ගෑමෙන් දැවිල්ල අඩු වෙනවා. කෝමාරිකා ගෑමත් හොඳයි. ක්‍රීම් වර්ග, කුකුල් තෙල්, අන්නාසි කොළයේ ඉස්ම ගෑම, අයිස් කැට තැබීම, සුදුසු නෑ. පිළිස්සුම් තුවාලයකට රසායන වර්ග දැමීම නිසා එය ශරීර අභ්‍යන්තරයට බලපාන්න පුළුවන්. ගලාගෙන යන පිරිසුදු ඇල් වතුරෙන් සෝදලා බිත්තර හෝ කෝමාරිකා ගෑම සුදුසුයි.

ඒවගේ කෙනෙක්ට කළ යුතු අත් බෙහෙත් මොනවාද?
මේ ශාස්ත්‍රය බෙහෙත් ලියා දීලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. බෙහෙත් හැදුවට මදි. එය ගාන ක්‍රමයක් තියෙනවා. බෙහෙතට ගන්න ගහක කොළයක් කඩන ක්‍රමය, පොත්තක් ගහන විදිහක් තියෙනවා. මේ කරන දෙයින් රෝගියාව සුවපත් වේවා කියන හැඟීම තියෙනවා.

අපි මේ දේ කරන්නෙ භක්තියක් ඇතිවයි. මේ ප්‍රතිකර්ම අපි කරන්නෙ නොමිලේ. තෙල් හිඳිනවිට රෝගියෙක් ඒ සඳහා ආධාර කළොත් විතරක් ඒ මුදල ගන්නවා. අපට වැදගත් රෝගියෙක් සුව වෙලා සතුටින් ඉන්නවා කියන කාරණය පමණයි. මීට පෙර මේ වෙදකම් ගෙනාව අයට පිනක් සිදුවීම සහ අපට පිනක් සිදුවීම පමණක් මෙයින් බලාපොරොත්තු වෙන්නෙ.

මීට පෙර පිළිස්සිලා කැළැල් තිබෙන කෙනෙක්ගෙ පිළිස්සුම් කැළැල් යැවීමේ හැකියාවක් තියෙනවද?
තුවාලය සුවපත් වීමට පෙර ආවොත් කැළලි නැතිව සුව කරන්න පුළුවන්. කැළලි ඇතිව සුව වූ කෙනෙක්ගෙ කැළලි යවන්න බෑ.

හුමාලය වැදුනහම පිළිස්සෙනවට වඩා තැම්බෙන ගතියක් තියෙන්නෙ. ඒ වගේ කෙනෙක් සුවපත් කරන්නෙ කොහොමද?
මං සකස් කළ තෙල් භාවිත කරලා ඒ වගේ අවස්ථාවක රෝගියා සුවපත් කරනවා.

තෙල් තාච්චියකට පිච්චිලා දියපට්ට ආ කෙනෙක් ප්‍රතිකාර ගන්න ඕනෙ කොහොමද?
දියපට්ටය මත බෙහෙත් ගාලා, දැවිල්ල අඩු කරලා සිසිල් කරනවා. ඊට පස්සෙ පිරිසුදු දොඩම් කටුවකින් සිදුරු කරලා තුවාලෙට බේත් කරනවා. තෙල් මගින් කැළැල් යවනවා. ඇඳන් ඉන්න ඇඳුමක් ගිනි ගත්තොත් තුවාලයට හානියක් නොවන පරිදි ඇඟට ඇළුණු ඇඳුම ඉවත් කරන්න බෙහෙත් ගානවා.

මෙවන් වටිනා වෙදකමක් පරම්පරාවෙන් පිට කෙනෙක්ට උගන්වන්නෙ නැත්තෙ ඇයි?
අපි බුදුගුණ අදහමින් වතාවත් කරලා මේ කටයුත්ත කරන්නෙ. මේ වෙදකම කාටවත් උගන්වන්න බෑ. අපිත් එක්ක කාලයක් ඉඳලා ඉගෙන ගන්න ඕන දෙයක්. මං පොඩි කාලෙ ඉඳන් අම්මත් එක්කම ගිහින් එයා කරන දේ බලන් හිටි නිසා මේ ශාස්ත්‍රය පිහිටියා. බෙහෙත් ගහක කොළය කඩන විදිහ, පොතු ගහන විදිහ අනුව සුවය හිටින්නෙ. අපි බේත් හේත් පොත්පත්වල ලියලා තියෙනවා. ඒත් ඒවා වෙන කෙනෙක් කළාට සුවය ලැබෙන්නෙ නෑ. අලුතෙන් ඉගෙන ගන්න කෙනෙක් ආවොත්, එයා දැක්කහම අපට හිතන්න පුළුවන් එයා මේ ශාස්ත්‍රය කරයිද? නැද්ද? කියන එක. මුදල් හොයන්න බැරි නිසා බොහෝ අය මේ වෙදකම ඉගෙන ගන්න අකමැත්තකුත් තියෙනවා. ඒත් සුව වුණ රෝගියෙක් දැක්කහම අප ලබන සතුට , සුව වුණ රෝගියාට අපව දැක්කහම ලැබෙන සතුට කියා නිම කරන්න බෑ.

ඔබත් පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ලබන අයෙක් නම්, 250/1, දෙල්දෙණිය , මැණික්දිවෙල පිහිටි පන්වත්තෙ වෙද ගෙදරට යන්න
ලිපි හිමිකම – ඉරෝෂිණි දීපිකා ඡායා – ඉරේෂා වඩුගේ

(උපුටාගැනීම දිනමිණ පුවත්පත)