සර්වාංගෙම ලෙඩ සොයන MRI පරික්ෂණය කරන්නේ මෙහෙමයි

MRI පරීක්ෂණයේදි මොකද වෙන්නේ?, මේ පරික්ෂාව ආරක්ෂිතද? හැමෝටම කරන්න පුලුවන්ද? මේ ගැන මේ ලිපියෙන් අපි කතා කරමු. MRI ස්කෑන් එකක් ලෙසින් හඳුන්වන්නේ රෝග විනිශ්චය සඳහා භාවිතා කරන අති නවීන තාක්‍ෂණයක්. මෙමගින් අපගේ ශරීරයේ අභ්‍යන්තර අවයව වල තිබෙන රෝගී තත්වයන් නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙය ඉතාම මිල අධික වගේම ඉතාම නිවැරදි තොරතුරු ලබා දෙන තාක්‍ෂණයක්. ශරීරයේ සෑම අවයවයක්ම වාගේ පරික්ෂා කරන්න මෙම ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. X කිරණ සටහන්, CT ස්කෑන් වැනි දේ භාවිතා කර නිරීක්‍ෂණය කරන්න බැරි සංකීර්ණ අවස්ථා සඳහා MRI ස්කෑන් භාවිතා කරනවා. උදා: පිළිකා අධ්‍යයනය, මොළය පරික්ෂා කිරීම, අනතුරකදී ශරීර අභ්‍යන්තරයට සිදුවී ඇති හානි පරික්ෂා කිරීම, හදවත පරික්ෂා කිරීම මින් කිහිපයක් පමණයි. MRI යන කෙටි යෙදුමෙන් හඳුන්වන්නේ Magnetic Resonance Imaging යන්නයි. මෙහිදී සිදුවන්නේ අධි තීව්‍ර චුම්භක ක්ෂේස්ත්‍රයක් අපගේ සිරුර හරහා යැවීමෙන් අපේ සිරුරේ අභ්‍යන්තර අවයව වල ඉතා පැහැදිළි රූප සටහන් ලබා ගැනීම. MRI ස්කෑන් පරීක්ෂාවකදී මොකද වෙන්නේ? MRI ස්කෑන් පරික්ෂාවකදී රෝගියාව පැතලි ඇඳක දිගා කොට ස්කෑනරය ඇතුලට සෙමෙන් යවනවා. පළමුව යන්ත්‍රය තුලට යොමු කරන්නේ හිස පෙදෙසද නැති නම් දෙපයද කියන දෙය තීරණය වන්නේ පරික්ෂා කරන අවයවය අනුවයි.MRI ස්කෑනරයක් ක්‍රියා කරවන්න අවසර තියෙන්නේ ඒ සඳහා විශේෂ පුහුණුව ලැබූ විකිරණ තාක්ෂණ ශිල්පියෙකුට පමණයි (radiographer). ඔවුන් මෙම යන්ත්‍රය පාලනය කරන්නේ පරිගණකයක් ආධාරයෙන්. සාමාන්‍යයයෙන් මෙම පරිගණකය තියෙන්නේ වෙනම කාමරයක. ස්කෑනරය මගින් නිකුත් කරන අධික චුම්භක ක්ෂේස්ත්‍රයෙන් පරිගණකය වෙන් කිරීමට තමයි මෙලෙස කරන්නේ. මෙම තාක්ෂණ ශිල්පියාට කැමරා ආධාරයෙන් ස්කෑනරය තුල සිටින රෝගියාව නිරීක්ෂණය කල හැකි අතර intercom එකක් ආධාරයෙන් ඔහු සමග සංවාදයේ යෙදෙන්නත් පුළුවන්.ස්කෑන් පරීක්ෂාවක් සඳහා මිනිත්තු කිහිපයක් හෝ ඇතැම් මිට මිනිත්තු 90ක් පමණ දීර්ග කාලයක් ගත වෙන්නත් පුළුවන්. කාලය බොහෝ දුරට තීරණය වන්නේ කොපමණ පින්තුර ප්‍රමාණයක් ලබා ගන්නවා ද සහ කුමන අවයවද පරික්ෂා කරන්නේ, පරික්ෂා කරන පෙදෙසේ විශාලත්වය වැනි කාරණා මත. කොහොම වුනත් ස්කෑන් පරික්ෂාව සිදුකෙරෙන සම්පුර්ණ කාලය පුරාම රෝගියාට හැකි තරම් නිසොල්මන්ව සිටින්න සිදුවෙනවා මෙය ඉතාම වැදගත් දෙයක්.

ෙමෙය ආරක්‍ෂිත ක්‍රමවේදයක් ද? මෙය ඉතාම ආරක්ෂිත සහ වේදනා රහිත ක්‍රියාවලියක්. මෙහිදී තිබෙන ප්‍රධානම ගැටළුවක් වන්නේ කුඩා ඉඩ ප්‍රමාණයක කොටුවී සිටීමේදීහිතට දැනෙන බිය. මෙය හැම කෙනෙකුටම නැති එක්තරා මානසික තත්වයක්. මෙයට කියන්නේ claustrophobia කියල. MRI ස්කෑන් පරීක්ෂාවකදී X කිරණ පරීක්ෂාවකදී මෙන් ශරීරය විකිරණ වලට නිරාවරණය වීමක් සිදුවන්නේ නැහැ. මේ නිසා ගැබිණි මව්වරුන්ට පවා මෙම ස්කෑන් පරික්ෂාව සිදුකර ගන්න පුළුවන් හානියකින් තොරව.මෙතෙක් කිසිදු පර්යේෂණයකින් හෝ සිදුවීමකින් තහවුරු වී නැහැ MRI ස්කෑන් පරීක්ෂාවකදී ශරීරයට හානි ගෙනදීමක් සිදුවෙනවද කියන දෙය. මේ නිසා ලොව දැනට ඇති ආරක්ෂිතම රෝග පරික්ෂාණ කරන ක්‍රමවේදය ලෙසින් MRI හඳුන්වනවා. සමහර අයට MRI පරීක්ෂාවක් සිදු කර ගන්න හැකියාවක් නැහැ. MRI ස්කෑන් යන්ත්‍රයක් තුලදී රෝගියෙකු ඉතා තීව්‍ර චුම්භක ක්ෂේස්ත්‍රයකට භාජනය වෙන බව අප කලින් සඳහන් කළා. මේ නිසා රෝගියාගේ සිරුර තුල ලෝහ කොටස් තිබේ නම් ඔහුට හෝ ඇයට MRI ස්කෑන් පරීක්ෂාවක් සිදු කර ගැනීමට නොහැකි වීමට ඉඩ තිබෙනවා. නමුත්, ශරීරයේ ලෝහ කොටස් තිබීම MRI ස්කෑන් පරික්ෂාවකට ස්ථිර නුසුදුසකමක් ලෙසින් පුර්ව නිගමනයකට එළඹෙන්නට අපට හැකියාවක් නැහැ. එය නිගමනය කල යුත්තේ ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හෝ තාක්ෂණ ශිල්පියෙකු (radiographer) පමණයි. රෝගියෙකුගේ වගකීම වන්නේ තමන්ගේ ශරීරය තුල ලෝහ කොටස් ඇත්නම් ඒ බව ඉතා පැහැදිලිව සහ හැකි තරම් නිවැරදිව වෛද්‍යවරයාට දැනුම් දීමයි. රෝගියාට හරි හැටි වැටහීමක් නැති නම් තම සිරුරේ තිබෙන ලෝහ කොටස ගැන, ඒ ගැන නිවැරදි තොරතුරු දැනගන්නට X කිරණ පරීක්ෂාවක් සිදු කර ගන්න පුළුවන්.

මීළඟ වැදගත් කරුණ වන්නේ MRI ස්කෑන් පරීක්ෂාවක් කර ගැනීමේ අවස්ථාව රෝගියෙකුට මගහරවන ශරීරයේ ස්ථාපනය කර ඇති ලෝහ කොටස් මොනවාද යන්නයි. පහත තිබෙන්නේ එවන් ශරීරයේ ස්ථාපිත ලෝහ කොටස් ලැයිස්තුවක් මෙය බහුලවම දකින්නට ලැබෙන උපාංග ලැයිස්තුවක් පමණි.Pacemaker හෝ cardioverter-defibrillator (ICD) මෙය ඇතැම් හදවත් රෝගීන්ගේ හදවතේ ස්පන්දනය ක්‍රමානුකුලව සිදුකිරීම සඳහා සිරුර තුල ස්ථාපනය කරන උපකරණ දෙකකි.අස්ථි බිඳීමකදී අස්ථි එකිනෙක හා සම්බන්ද කිරීමට ලෝහ පතුරු, ඇණ, කම්බි වැනි දේ යොදා ඇති විට Nerve simulator දීර්ග කාලින ස්නායු වේදනා වලින් පෙලෙන පුද්ගලයින්ගේ සිරුරේ ස්ථාපනය කරන උපාංගයකි. Cochlear implant ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් පළඳින hearing aid වැනි සිරුර තුල ස්ථාපිත උපාංගයකි Drug pump implant සිරුර තුල ස්ථාපිත වේදනා නාශක උපාංගයකි.#Brain aneurysm clips පිපිරීමට අවධානමක් ඇති මොළයේ රුධිර නාල සඳහා භාවිතා කරන ලෝහ ඇමිනුමකි. Eye implants ඇසේ ස්ථාපනය කරන කුඩා ලෝහ පතුරු වැනි දෙයකි බොහෝ විට දෘෂ්ඨිවිතානය නිසි තැන තැබීම සඳහා මෙවැනි දේ භාවිතා කරයි. Intrauterine device (IUD) ගැබ් ගැනීම් වැලැක්වීම සඳහා ගර්භාෂය තුල ස්ථාපනය කරන ප්ලාස්ටික් සහ තඹ මිශ්‍ර උපාංගයකි.කෘතීම සන්ධි දණහිස හෝ උකුල් ඇටය කැඩී ගිය රෝගීන් සඳහා භාවිතා කරයි. ලෝහ දත් පැළඳ ඇති විට Tubal ligation clips ගැබ් ගැනීම වැළක්වීම සඳහා භාවිතා කරන ක්‍රමයකි.Surgical clips or staples සැත්කමකින් පසු තුවාල වැසීම සඳහා ඇතැම් විට භාවිතා කරයි.යලිත් අවධාරණය කරන්නේ ඔබ තුල ඉහත උපාංග තිබීම තුලින් ඔබට MRI ස්කෑන් පරීක්ෂාවක් සිදු කර ගත නොහැකි යන වැරදි නිගමනයට නොපැමිණිය යුතු අතර මෙම ලයිස්තුවේ නැති වෙනත් ලෝහ උපාංගයක් ඔබගේ සිරුර තුල තිබීම නිසා ඔබට ස්කෑන් පරීක්ෂාවක් සිදු කර ගන්නට නොහැකි වන්නටද ඉඩ ඇති බවයි. මේ නිසා වැදගත්ම කාරණය වන්නේ ඔබගේ වෛද්‍යවරයා සමග විවෘත්තව සාකච්ඡා කිරීමයි.ඔබට මේ ලිපියෙන් දැනුමක් ලැබුන නම් මේ ලිපිය share කරන්න අමතක කරන්න එපා.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)