හන්දිපත් අමාරුවට ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ගේ සත්කාරයක්

2017-08-13 වැනි දින මම සුපුරුදු පරිදි අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් විසින් වසර ගණනාවකට පෙර මා වෙත දෙන ලද උපදෙස් පරිදි නිදි යහනේදී මෛත‍්‍රී භාවනා මෙනෙහි කොට නිදි යහනට වැදුනෙමි. (මෙම පුරුද්ද පසුගිය වසර ගණනාව පුරාම සිදු කරන ලද හෙයින් නිදි යහනට වැදුණු වහාම නිරායාසයෙන්ම මට මෛත‍්‍රී භාවනාව සිහිපත් වෙයි) මහ නාහිමියන් විසින් කරණීය මෙත්ත සූත‍්‍රය ඇසුරෙන් දෙසන ලද කරුණු සත්‍ය බව මට නම් ප‍්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වී තිබේ. සුවසේ නින්ද යෑම, සුවසේ අවදිවීම, දෙවියන්ට ප‍්‍රියවීම, මුහුණ ප‍්‍රසන්න වීම ආදි කරුණු මට මැනවින් ප‍්‍රත්‍යක්ෂ වී ඇත. නිදි යහනේදී මම සිහිනයක් දුටුවෙමි. සිහිනයෙන් මා දුටුවේ බලන්ගොඩ මහ නාහිමියන් අප නිවසේ ඉදිරි සාලයේ වැඩ සිටින අයුරුයි. උන්වහන්සේ අතින් සංඥා කොට තමන් වහන්සේ වෙත පැමිණෙන ලෙස මට කළ සංඥාවට අනුව මම ගෞරව පූර්වකව උන්වහන්සේ වෙත ළඟා වීමි. උන්වහන්සේ මගේ දකුණු අත ගෙන පරීක්ෂා කරමින්ම මගේ වම් අත ද පරීක්ෂා කරමින් සිටින අතර මා බිරිඳ නන්දා ඒ අසලට පැමිණියාය. ඒ සමඟම නාහිමියෝ අතුරුදන් වූ සේක. තවත් මොහොතකින් නාහිමියෝ ප‍්‍රාදූර්භූත වී මගේ අත් දෙකම පෙර පරිදි පරීක්ෂා කිරීමට පටන් ගත් විට නන්දා නැවතත් මා අසලට පැමිණියාය. පෙර පරිදිම නාහිමියෝ අතුරුදන් වූ සේක. පසුව මම නාහිමියන් සොයා මාර්ගයට ගිය සඳ නාහිමියෝ දුඹුරු වන් සිවුරු පොරවාගත් මහ සඟ පෙරටු කොට උන්වහන්සේ වඩින අයුරු මම දුටුවෙමි. ක්ෂණයකින් මගේ සිහින ලොවෙන් උන්වහන්සේ අතුරුදන් වූ සේක.

මෙම සිහිනය පිළිබද විස්තරය මා අවදි වූ සැණින් මා පුත් සපුමල් බණ්ඩාරට කීවෙමි. ඔහු කීවේ මා මේ දිනවල ආනන්ද මෛත්‍රෙය නාහිමියන් ගැන ලිපි ලිවීම හා උන්වහන්සේ සම්බන්ධව සිත යොමු කරන නිසා මෙසේ සිහිනයෙන් දකින්නට ඇති බවයි. එක් අතකින් ඔහුගේ කතාව නිවරැදි වන්නට පුළුවන. මෙම සිහිනය තහවුරු කිරීමට මට සාධක නැත. ඇත්තේ මගේ වචනය පමණකි. එහෙත් සිහිනයෙන් මා දුටු නායක හිමියන් පසු වූයේ වයස 60 හෝ 70 ඇති රූපකායෙනි. දුටු පමණින්ම මේ නාහිමියන් බව මට පසක් විය. එසේ වූයේ කෙසේ ද? නාහිමියන් කිසියම් පණිවුඩයක් දීමට උත්සාහ ගත්තේද? එය මට ගැටලූවකි. එහෙත් පෙර දිනයකදී මට කිසියම් උපදෙසක් දෙමින් උන්වහන්සේ කියා සිටියේ උන්වහන්සේ දෙන ලද කිසියම් කරුණක් පිළිබඳව උන්වහන්සේගෙන් මතු දිනයකදී සංඥාවක් ලැබෙන බවයි. උන්වහන්සේ මෙසේ පැමිණියේ එම සංඥාව දීම සඳහාද? එම සිහිනය තහවුරු කිරීමට මට සාධක නැත. ඇත්තේ මගේ වචනය පමණකි. මේ අවස්ථාවේ පෙර භවය පිළිබඳව නාහිමියන් සමඟ මා කරුණු විමසමින් සිටින අවස්ථාවකදී විවිධ ක‍්‍රම මඟින් පෙර භවය තහවුරු කළ හැකි බව ද පැවසූ උන්වහන්සේ කියා සිටියේ බටහිර රටවල ඇතැම් උගතුන් පෙර භවය තහවුරු කරන ලෙසයි. එවන් අවස්ථාවලදී උන්වහන්සේ ප‍්‍රකාශ කළේ ඇතැම් අය කොතෙක් සරලව මෙම කරුණ පැහැදිලි කළත් ඔවුන් එය පිළිනොගන්නා බවයි. ”එහෙම අවස්ථාවකදී ඒ ඇත්තන්ගෙන්ම මම ප‍්‍රශ්න අහනවා” දවසක් මම එක්තරා විශ්වවිද්‍යාලයක දේශනයකට ගියා. එම ශාලාවේ හිටපු එක්තරා උගත් මහත්මයෙක් හැම කරුණක්ම මට ඔප්පු කරන ලෙස කියනවා. මම කීවා විශ්වයේ සමහර කරුණු තියෙනවා ඒ දේවල් සත්‍ය නමුත් භෞතික වශයෙන් ඔප්පු කරන්න බැරි බව. ඒ මහත්තයා මා කියන දේ පිළිගන්නේම නෑ. ඒ මහත්තයට මං කීවා මහත්මයා ඔබතුමා කරුණාකරල මොකක් හරි ගැන හිතන්න කියලා. ඒ මහත්තයට හිතන්න කියලා මම විනාඩියක් දෙකක් කල් දීලා මම ඇහැව්වා හිතුවද කියලා. ඒ මහත්තයා කීවා ඔව් කියලා. එහෙනං කරුණාකරල තමන් හිතපු දේ මේ සභාවට කියන්න කියලා. ඒ් මහත්තයා තමන් හිතපු දේ සභාවට කිවා. හොඳයි දැන් මහත්තයා හිතුව දේ ඔප්පු කරන්න කියලා ඒ මහත්තයාට කීවා මං කීවා. ඒ මහත්තයා නිරුත්තර වුණා. මං කීවා විශ්වයේ තියෙන බොහෝ දේවල් සත්‍ය වුණත් අපට භෞතික මිණුම් දඬුවලින් ඔප්පු කරන්න බැහැ කියලා. ඒ වගේ මා දුටු මේ සිහිනයත් ඔප්පු කරන්න මට බැහැ.

එ්ත් මා දුටු සිහිනයේ කිසියම් වැදගත් පණිවුඩයක් දීමට උන්වහන්සේ පැමිණි බවයි, මට නං සිතෙන්නේ. අපි බොහෝ වේලාවට ජීවිතයේ සිදුවන ඇතැම් සිද්ධීන් අහඹු සිද්ධීන් ලෙස සලකා අමතක කර දැමීමට පුරුදුව සිටින්නෙමු. එහෙත් එය එසේ නොවේ. අප දැන් ගෙවන දිවි ගමන භව ගණනාවකට පෙර සිටම සැලසුම් වී ඇති බව අප බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. අභිධජ මහා රට්ඨ ගුරු අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන් වහන්සේගේ ජීවිතයසේම අපගේ ජීවිත ගමනද පෙර සැලසුමක ප‍්‍රතිඵලයක්. මෙම සිදුවීම් සමුදාය ඔබට කීමට පෙර මහ නා හිමියන් බලන්ගොඩදී හමුවූ අවස්ථාවක් පිළිබඳව කියනු කැමැත්තෙමි. දිනක් මා බම්බලපිටියේ පිහිටි නාඩි කියවන කාර්යාලයේ රැඳී සිටින විට එක්තරා ජපන් ජාතික කාන්තාවක්ද තම නාඩි පත කියවා ගැනීම සඳහා පැමිණ සිටියාය. නාඩි කියවන කාර්යාලයේ අධිපති ආචාර්ය ජයසංකර් මහතා මා ඇයට හඳුන්වා දෙමින් කියා සිටියේ මා මේ විෂය පිළිබඳව විමර්ශනය කරන කෙනෙක් නිසා ඇයගේ නාඩි කියවීම පිළිබඳ තොරතුරු ඇය කැමති නම් පමණක් කියන ලෙසටය. ඊට තම අභිමතය දැක්වූ ඇය තමා නවාතැන් ගෙන සිටි කොළඹ පිහිටි ප‍්‍රධාන පෙළේ හෝටලයට පැමිණෙන ලෙස මට ඇරයුම් කළාය. පසු දින මම ඇය සිටි හෝටලයට ගියෙමි. ඇය පිළිබඳව තොරතුරු විමසූ විට ඇය කියා සිටියේ තමා මෙම හෝටලයේ කාමරය මුළු වසර සඳහාම මුදල් ගෙවා වෙන් කරවා ගෙන ඇති බවය. ඊට හේතුවද කීමට තරම් ඇය කාරුණික වූවාය. ඇය කියා සිටියේ එම හෝටලයේ ඇය සිටින කාමරයේ පිහිටි බැල්කනිය තමාට භාවනාව කිරීමට ඉතාම යෝග්‍යතම ස්ථානය බවයි. භාවනාවට හිඳගත් සැණින්ම තමා සමාධිගත වන බවද පැවසූ ඇය මෙවන් තැනක් තමන්ට ලෝකයේ කිසිම තැනක් මෙතෙක් හමුවී නැති බවද කීවාය. (මේ මොහොතේ විසුද්ධි මාර්ගයේ ඇති අප්පායවාස සප්පායවාස පිළිබඳව දක්වා ඇති අවස්ථාව සිහිපත් වෙයි. එහි සඳහන් වන්නේ කිසියම් යෝගියෙක් භාවනා අසපුවකට ගිය විට එම අසපුවේ අධිපති ස්වාමින් වහන්සේගේ අවසරය ඇතිව දින කීපයක් කුටි මාරු කර ගැනීමෙන් තමන්ට සප්පාය වන කුටිය තෝරාගෙන භාවනාවේ යෙදීම ප‍්‍රතිඵලදායක බවයි) ඒ අතරතුර ඇය මගෙන් තවත් කාරුණික ඉල්ලීමක්ද කළාය. එනම් ඇය එම දිනවල බුදු දහම පිළිබඳව ජපන් බසින් ග‍්‍රන්ථයක් රචනා කරන හෙයින් ලංකාවේ වැඩ සිටින උගත් ධර්මධර ස්වාමින් වහන්සේලා වෙත ඇය කැඳවාගෙන යන ලෙසයි.

ඒ අනුව මම ඇය පළමුවෙන් නුගේගොඩ රත්තනපිටියේ පිහිටි සාසන අසපුවේ නා හිමියන් වෙත කැඳවාගෙන ගියෙමි. උන්වහන්සේ වෙතින් බුදු දහම පුනර්භවය කර්මය වැනි ප‍්‍රශ්න ඇය විමසූ අතර නා හිමියන් විසින් සිංහලෙන් දෙන ලද පිළිතුරු ඉංගී‍්‍රසියට පරිවර්තනය කළේ මවිසිනි. ඇය මේ සියල්ල පටිගත කර ගත් අතර පසුව එම සාකච්ඡාන්හි සඳහන් දේ ලේඛනයක් ලෙස සකස් කර දුන්නේද මවිසිනි. ඉන් අනතුරුව ඇය තමන්ට බලන්ගොඩ නායක හාමුදුරුවන් වහන්සේ හමුවීමේ අවශ්‍යතාවද හෙළි කළාය. අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් වහන්සේගෙන් දිනයක් හා වේලාවක් වෙන් කරවාගෙන නියමිත දිනයේ දී අපි බලන්ගොඩ ගියෙමු. (මෙම ගමන සඳහා මා මිත‍්‍ර රාජගිරියේ මාදින්නාගොඩ ආරිය බණ්ඩාර සමරකෝන් මහතා සමග ජපන් කාන්තාවගේ යහළුවෙකුද සහභාගී වූ අයුරු මතකයට එයි.) නා හිමියන් අප වෙනුවෙන් වෙන් කළ වේලාවටම අපි බලන්ගොඩ ශ‍්‍රී නන්දාරාම විහාරස්ථානයට ගියෙමු. ඒ වන විට උන්වහන්සේ වැඩ සිටියේ ජපන් ජාතික භාවනානු යෝගියෙකු වන සෝකෝ අසාහාරා නමැති අය විසින් අළුතින් තනවා පූජා කරන ලද ආරාමයේය. ආරාමය ඉදිරිපිට සෝකෝ අසහාරා විසින් තනවන ලද බවට නාම පුවරුවක් ද සවි කර තිබිණ. (මෙම ඉදිකිරීම පසුකාලීනව නාහිමියන්ගේ ජීවිතය පිළිබඳව මහත් බලපෑමක් කළ සිදුවීමක් බවට ද පත්විය.)

ජපන් ජාතික කාන්තාව අසපුවේ සුන්දරත්වය නැරඹීම සඳහා ගියාය. ඒ වනවිටත් දහවල් දානය රැගෙන ආ හතළිහකට වැඩි දායක පිරිස උන්වහන්සේගේ දෙපා අසල මහත් ගෞරවයෙන් ආදරයෙන් හා සෙනෙහසින් යුතුව මහ නාහිමියන් හා කතාබහේ යෙදෙන අපූරු දසුන අපි දුටුවෙමු. අපට නම් එම අපූරූ දසුන ජීවිතයේ නොමැකෙන සිහිවටනයක් විය. ඒ සුන්දර අපූරු දසුන දුටු විට අපට සිතුණේ අප මේ සිටින්නේ ලෝක පූජිත මහා යතිවරයාණන් වහන්සේ නමක් ඉදිරියේ ද යනුවෙනි. හේතුව බුද්ධ ධර්මය වැනි ගැඹුරු ධර්මයක් මුළු ලොවටම දේශනා කරන මුළු ලෝකයේම වියතුනගේ ගෞරව බුහුමන් ලබන ලෝක පූජිත මහා බුද්ධ පුත‍්‍රයාණන් වහන්සේ නමකගේ සරල චාම් නිහතමානී ගුණ කදම්බය උන්වහන්සේ ගත කරන ජීවිතය තුළින් මොනවට විද්‍යමාන වූ අවස්ථාව අප දෑසින්ම දුටු හෙයිනි. අපි උන්වහන්සේට වැඳ නමස්කාර කොට පසෙකින් වාඩිවීමු. කුඩා සාමණේර හිමිනමක් අපට තේ කෝප්ප දෙකක් පිරිනැමූහ. ”අනේ හාමුදුරුවනේ මම සීනි දාල තේ බොන්නෙ නෑ. මම ඉතා සෙමින් පොඩි හාමදුරුවන්ට කීවෙමි” ඒ දෙස බලා සිටි නාහිමියෝ ”ඇයි මුන්නැහේ සීනිවලට බයද? බය වෙන්න එපා මහත්තයෝ අපේ රටේ ඕවට හොඳ සිංහල බෙහෙත් තියෙනවා. ඒත් අපේ රටේ මිනිස්සු හුඟ දෙනෙක් මේ ගැන දන්නෙ නෑ. දැනගත්තත් පිළිගන්නේ නෑ. බටහිර වෙදකම එන්න කලින් පුරාණයේ ඉඳලම අපේ රටේ තිබුණේ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය. මේ වෛද්‍ය ක‍්‍රමය ලෝකෙට ප‍්‍රකාශ කළේ මීට අවුරුදු පන් දහසකට හය දහසකට ඉස්සර හිටිය ඉර්සීන් වහන්සේලා. ”පොඩි නම අර ගම්මාලූ කිරි බෝතලෙන් පොඩි කුප්පියකට ටිකක් දාල ගේමුකෝ” නාහිමියෝ පොඩි හමුදුරුවන්ට කීහ. ”මහත්තයෝ භික්ෂුන් වහන්සලාට ගිහියන්ට වෙද හෙදකම් කිරීම විනය විරෝධියි. ඒත් මනුෂ්‍යයන් කෙරෙහි අනුකම්පාවෙන් බෙහෙත් ගැන කියා දෙන ක‍්‍රමයක් අපේ විනය පොත පතේ තියෙනවා. ඒ ගැන විස්තර කියා දෙන්න කාලය මදි”. පොඩි හාමුදුරුවන් ගම්මාලූ කිරි සහිත කුප්පිය දෑතින්ම නා හිමියන්ට පිළිගැන්වීය. ”මහත්තයෝ මේ කුප්පියේ තියෙන ගම්මාලූ කිරි කිසියම් රෝගියෙක් පාවිචිචි කරනවා නං පාචිචි කරන්න ඕනෑ මෙහෙමයි. ඉරටු කෑල්ලක් අරගෙන හොඳට හෝදල කුප්පියේ තියෙන ගම්මාලූ කිරිවල තවරල හත් අට වතාවක් ගසා දමන්න ඕනෑ. ඉන් පස්සේ ඉරටු කෑල්ලේ තියෙන ප‍්‍රමාණය තමයි, මාත‍්‍රාව මේක මහා බලසම්පන්න බෙහෙතක්. කිසිම ලෙසකින්වත් මාත‍්‍රාව ඉක්මවලා ගන්න එපා කියලයි තියෙන්නේ”.

මේ බෙහෙත ගන්න කෙනා හිස් බඩට බෙහෙත බොන්න ඕනෑ. බෙහෙත බීලා පැය දෙකක් යනකල් කිරි හෝ වෙනත් ආහාර ආදිය නොගත යුතුයි. බෙහෙත නොකඩවා දින විසි එකක් ගත්තම රෝගියාට තමන්ටම ගුණ අගුණ දැනගන්න පුළුවන් කියලයි සඳහන් වෙන්නේ. නාහිමියන් දෙන ලද ගම්මාලූ කුප්පිය මම ඉමහත් ගෞරවයෙන් යුතුව දෑතින්ම පිළිගතිමි. ඔය වගේ අත් බෙහෙත් හුඟාක් අපේ ගම්වල ඉන්න සිංහල වෙද මහත්තුරු දන්නවා” නාහිමියෝ පැවසූහ. මේ විස්තරය අසා සිටි නාහිමියන් ඉදිරියේ වාඩි වී හුන් එක්තරා වයසක උපාසක මහත්තයකු නාහිමියන් වෙත තම රෝගී තත්ත්වය කියා සිටිමින් ඊට ප‍්‍රතිකර්මයක් නැතිදැයි විමසීය. ”අනේ නායක හාමුදුරුවනේ මගේ වයස දැන් අවුරුදු හැත්තෑවයි. ගමනක් බිමනක් යනකොට හන්දිපත් ඔක්කෝම රිදෙනවා. කකියනවා. මේකට මොකුත් අත් බෙහෙතක් නැද්ද අපේ හාමුදුරුවනේ”. උපාසක මහතා මහත් බය පක්ෂපාතීව නාහිමියන් වෙතින් විමසීය. නාහිමියන් සිනහමුසු මුහුණින් යුතුව දුන් පිළිතුර මට අද මෙන් සිහිපත් වෙයි. ”මේ ඇත්තගේ වයස දැන් අවුරුදු හැත්තෑවයි කීවනේ. මේකට හොඳම ඖෂධය වේදනානුස්මෘති භාවනාවයි. මම කලක් ඉන්දියවේ ඍෂිකේෂි ආශ‍්‍රමයේ ඉන්දියානු භාවනා ක‍්‍රමය ඉගෙනගන්න ගියා ඔහොම ඉන්න අතරේ මම දැක්කා බටහිර රටවල සංචාරකයෝ විශාල පිරිසක් හිමාල කන්ද නගින්න යනවා එනවා. ඒත් මේ ඇත්තන්ගේ බඩු පොදි ඔක්කොම උස්සගෙන යන්නේ ටිබෙට් ජාතික මිනිස්සු. සංචාරක ඇත්තෝ බඩු පොදි ටිකක් විතරයි ගෙන යන්නේ. දවසක් මට හිතුණා මේ කම්කරු ඇත්තන් හමුවෙලා මේ ගැන විස්තරය දැනගන්න. ඒ ඇත්තෝ බොහෝම කැමැත්තෙන් මට තොරතුරු කීවා. මේ ඇත්තෝ හිමාල කන්ද නගින්න සතියකට ඉස්සෙල්ලා පොඩි ඖෂධයක් හදාගෙන බොනවා. ඒක ඉතාම සරල බෙහෙතක්. ඖෂධය අපි කවුරුත් දන්නා කෝමාරිකා ගස්. ඒ අය කෝමාරිකා පැළයක කොළයක් කඩාගෙන පිට පොත්ත සුද්ධ කරල කෑලි දහයකට දොළහකට විතර කපාගෙන ඉන් එක කෑල්ලක් පිරිසිදු එළගිතෙලේ රතු සීනි සමඟ දවටලා තැටියකට දාලා මඳ ගින්නේ රත් කරල කෑමට ගන්නවා කියලා කීවා. මේ ඖෂධය උදේ හවස වශයෙන් දින පහක්ම නොකඩවා ගත යුතු වෙනවා. ඔවුන් කී අන්දමට මෙකී ඖෂධය ගමනට පෙරත් ගමන ගොස් ආපසු ආ පසුත් මේ කෝමාරිකා කෑලි ඖෂධය ගන්නා බවයි. ඒ ඇත්තෝ මට කීවේ. උතුරු ඉන්දියාව අධික සීතල දේශගුණයක් පවතින පළාතක් නිසා මෙහෙම කපාපු කෝමාරිකා දඬු ඕනෑම කාලයක් තියාගන්න පුළුවන්. නරක් වෙන්නෙ නෑ. අපේ රටේ පවතින උෂ්ණ අධික කාලගුණය නිසා ඉක්මනින් නරක් වෙන්න පුළුවන්. කෙනෙක් මේ ඖෂධය ගන්නවා නම් කපාපු කෝමාරිකා කෑලි ශීතකරණයක තියල ගත්තට වරදක් නෑ. ඒත් අපේ රටේ හොඳ පිරිසිදු එළඟිතෙල් ලබාගන්න අමාරුයි. ඒ නිසා ඔස්ට්‍රෙිලියාවෙන් ගෙන එන බටර් පාවිච්චි කළාට වරදක් නෑ. හැබැයි රතු සීනිවල දවටලා රත් කරල ගන්නම ඕනෑ. දවසක් මට හිතුණා මේ ඖෂධය අපේ රටේ ක‍්‍රීඩාවල යෙදෙන දරුවන්ට පාව්චිචි කරන්න කටයුතු කළා නම් හුඟාක් දක්ෂකම් ඒ අයට පෙන්වන්න පුළුවන් නේද කියලා. අනෙක මේ ඖෂධය ස්වාභාවික පැළෑටියක් හන්දා ශරීරයට අතුරු අබාධ ඇතිවෙන්නෙත් නෑ සමහර වෙලාවට බටහිර ඖෂධ ගන්නකොට ඇතිවන අතුරු ආබාධවලට තවත් බෙහෙත්පෙති ගන්න ඕනෑ වෙනවා.

මේ අතර අප සමඟ පැමිණි ජපන් කාන්තාව නාහිමියන් බැහැ දැකීමට පැමිණ තමන් ගෙනා පලතුරු කූඩය නාහිමියන්ට පිළිගන්වා වැඳ පසෙකට වූවාය. මම ඇය පැමිණි කාරණය උන්වහන්සේට දැන්වූ අතර නාහිමියෝ ඇය දෙස විනාඩියක් දෙකක් පමණ කාලයක් බලා සිට නැවතත් පැමිණ සිටි පිරිසගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දීමට පටන්ගත් සේක. එසේම ඇය පන්සල් භූමියට ඇතුළුවන අවස්ථාවේ තිබූ ප‍්‍රසන්න බව ඇයගෙන් ගිලිහී ඇති අයුරු අපට නිරීක්ෂණය විය. පෙර දිනෙකදී රත්තනපිටිය සසුන අසපුවේදී එම නාහිමියන්ගේ බුදු දහම පුනර්භවය කර්මය වැනි ප‍්‍රශ්න ඇය විමසුවද ඇය මෙදින කිසිදු ප‍්‍රශ්නයක් බලංගොඩ නාහිමියන් ගෙන් නොඇසුවේ මන්ද? බුදුදහම පිළිබඳව විමසීම සඳහා කොළඹ සිට ඇය මෙපමණ දුරක් ගෙවා පැමිණියේම උක්ත කරුණ සඳහාමය. දැන් ඇය තුෂ්ණීභූතව සිටින්නේ මන්දැයි මට කුකුසක් ඇතිවූ නමුදු නාහිමියන් ඉදිරියේ එසේ ඇසීම සුදුසු නොවන නිසා මම නිහඬව සිටියෙමි. පැමිණ සිටි තවත් වයසක කාන්තාවක දොහොත් මුදුනේ දෑත් තබාගෙන වැඳගෙන මෙසේ විමසීය. ”නායක හාමුදුරුවනේ මට නිතරම හීනෙන් නරක බය හිතෙන හීන පේනවා. මේකට මොකද කරන්නේ අපේ නායක හාමුදුරුවනේ?” ඇය මහත් ගෞරව සම්ප‍්‍රයුක්තව ඇසුවාය. ඇය නාහිමියන්ගෙන් කිසියම් පිහිටක් පිළිසරණක් අපේක්ෂාවෙන් සිටි බව ඇය කතා කළ විලාසයෙන් සහ බියට පත්ව සිටින අයුරෙන් අපට මොනවට පැහැදිලි විය.

(මෛත‍්‍රී රත්නායක – දිවයින පුවත්පත ඇසුරෙනි)