මුත්‍රා ගල් දිය කරන විෂ නාශකය පිටවක්කා

ගෙම්දුළු වටා සුලබව වැඩෙමින් අපගේ නිරෝගිතාව වෙනුවෙන් සුවිශේෂ, මෙහෙයක් ඉටුකරන පිටවක්කා නෙල්ලි ශාකයට නෑකම් කියන නිසාදෝ බිම් නෙල්ලි නමින්ද හැඳින්වෙනවා. ශාකය සෙන්ටි මීටර් 60 ක පමණ ඉහලට වැඩෙන අතර සිහින් පත්‍ර ඇති නාරටිය පිටුපසින් කුඩා මල් පේලි සැදී, පල ගැන්වී එම බීජ මගින් ව්‍යාප්ත වෙනවා. එළ හා රතු වශයෙන් පිටවක්කා වර්ග දෙකක් ඇති අතර වඩා ප්‍රයෝජනයට ගැනෙන්නේ එළ වර්ගයයි. එය Euphorbiaceae කුලයට අයත්. ශ්‍රී ලංකාව ඉන්දියාව භූතානය වැනි රටවල බහුලව දක්නට ලැබෙනවා. Thaamalaki, ,Drhapadia නම්වලින් ද හඳුන්වනු ලබනවා. ආයුර්වේදයේ බොහෝ රෝග ප්‍රතිකාර සඳහා යොදාගන්නා අතර ඒ සඳහා කොළ, මුල් , ඇට මෙන්ම ගස සහමුළින්මත් උපයෝගිකර ගන්නවා. පිටවක්කා, විෂ නාශකයක් මුත්‍රාකාරකයක්, ලේ පිරිසිදු කරන්නක්, මෙන්ම ආහාර රුචිය වර්ධනය කරන්නක් ලෙස ද සැළකෙනවා. පීනස කැස්ස ඇදුම උණ, ඇස්‍ රෝග සෙංගමාලය අක්මාරෝග, ක්ෂය රෝග ඉදිමුම් පාන්ඩුව විසප්පු හොරි දද තුවාල, චර්ම රෝග මල බද්ධය, අම්ලපිත්තය අස්ථි බිඳුම්, මුත්‍රා රෝග, ආර්තව ගැටළු,, ගර්භාෂ රෝග, ගොනෝරියා, නාග විෂ, වැනි අවස්ථා රාශියක දී ප්‍රතිකාර සඳහා පිටවක්කා යොදාගනු ලබනවා.

එසේම ඖෂධ විෂවීම් මධ්‍යසාර විෂවීම් දුරුකිරීමටද බෝවන රෝග හා බෝ නොවන රෝග වළකාලීමටද , පිටවක්කා උපකාරීවනවා.දරුවන් ගේ
ප්‍රති ශක්ති ,වර්ධනය කරදීමේත්, පණු රෝග මර්දන‍ය කිරීමේත් හැකියාව එහි පවතිනවා. මුත්‍රා ගල් දිය කිරීමේ ගුණයෙන් ද යුක්තයි. අක්මා ප්‍රදාහ, සර්ප විෂ, පිත්තාශ රෝග, ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය, තයිරොයිඩ් ග්‍රන්ථි ක්‍රියාකාරිත්වය , ඖෂධ මධ්‍යසාර විසවීම්, ආමාශයික තුවාල, අම්ලපිත්ත, ශ්වේත ප්‍රදර, වැනි අවස්ථා ගණනාවක් සඳහාත් ,අධි රුධිර පීඩන , කොලෙස්ටරෝල් තත්ත්වයන් ,පාලන‍ය කිරීම සඳහාත් ,මේදය බැහැර කිරීම හා රුධිරය,පිරිසිදු කිරීම සඳහාත් කෘෂ භාවය දුරුකර ශක්තිය වැඩීම සඳහාත් පිටවක්කා කැඳ ඉතා යෝග්‍යයි. කැඳ, මෙන් ම මැල්ලුම, ශාකය තැම්බු දිය, නිතර ආහාරපාන වශයෙන් යොදා ගැනීමෙන් , ශාකයේ ප්‍රතිලාභ බොහෝ සෙයින් අත්කරගත හැකියි.

“සුදු පිටවක්කා කොළ කැද” අවශ්‍ය ද්‍රව්‍ය – පිටවක්කා ගස් පිටින්ම දෙමිටක්‌ පමණ, පොල් කිරි කෝප්ප 2, කැකුළු හාල් කෝප්ප ½, රතු ළූණු ගෙඩි කීපයක්, ලුණු.

සාදන ක්‍රමය – හාල් සෝදා ගරා ලිප තබා පිටවක්කා ගස් හොදින් කොටා මිරිකා ගන්න. හොදින් බත ඉදුණු පසු පොඩි කර ලියා ගත් රතුළූණු ද පොල් කිරි සහ පිටවක්කා යුෂ ද දමා අවශ්‍ය පමණ ලුණු එක් කර විනාඩි කීපයක් පිස ගන්න.

පිටවක්කා වලින් අත් බෙහෙත්, පීනසට – පිටවක්කා මුල් තම්බා ගත් දියට මීපැණි මිශ්‍ර කර බීම කැඳ බීම. සොටු ගලන පීනසට – ශාකය වියළා කුඩුකර ,ඉන් තේ හැඳි බාගයක් සහ කහ කුඩු ස්වල්පයක් උතුරුවාගත් උණවතුර කෝප්පයකට දමා නිවුණු පසු මීපැණි දමා ,බීම. දියවැඩියාවට – ශාකය වියළාගත් කුඩු තැම්බූ ජලය බීම සහ කැඳ පානය. සැරව ගලන තුවාල වලට – ශාකය, තැම්බූ දියෙන් සේදීම. විසප්පුවලට – පැළෑටිය ඇල්දියෙන් අඹරා ගෑම. අජීර්ණ, අතීසාර ලේ අතීසාර, ආහාර විෂවීම්වලට – ශාකය කොටා පොට්ටනි බැඳ වංඩුවේ තම්බා මිරිකූ යුෂ පානය. ගෙඩි පැසවීමට – ශාකය කැකුළු හාල් සමග ඇල්දියෙන් අඹරා ගෑම. පැණිරස ආහාරව අධිකව ගැන්මෙන් පසු රුධිරගත සීනි පාලනයට – වියළා කුඩුකර තේ හැඳි බාගයක් යොදා තේ මෙන් පානය කිරීම. රක්ත ප්‍රදර ‍රෝගයට හා ශක්තිය වැඩීමට – පිටවක්කා නිවුඩු හාල් වතුරෙන් අඹරා යුෂ, මිරිකා බීම. මුත්‍රා ගල්වලට – නීරමුල්ලිය සමග එකට තැම්බූ දියපානය

Indra kumari Rathnayake
(මූලාශ්‍ර- වෛද්‍ය ලේඛන හා අන්තර්ජාලය)