කවුරුත් නොදන්නා කෝපි වල අතීත කතාව

ඈත අතීතයේ එළු රංචුවක සිටි මහලු එළුවන් පිරිසක් ඇදහිය නොහැකි ප්‍රබෝධ‍යකින් නාඹරයන්, මෙන් හැසිරෙනු දැක විමසිලිමත්වූ නැණවත් පූජකවරයෙක් උන් ආහාරයට ගෙන තිබූ විශේෂ ශාකය කුමක්දැයි සොයා හඳුනාගෙන, ඒ ගැන හදාරා බැලුවා. අනතුරුව එය දෙවියන් එවූ තෑග්ගක් ලෙස නම් කළා. එතැන් පටන් ඉන් බීමට සකසාගත් පානය කෝපි ලෙස ලෝකය හඳුනාගත්තා. කෝපි පානයේ ආරම්භය හා බැඳී ඇත්තේ මෙම කතා පුවතයි. අද ලෝකයේ ජනප්‍රිය ම පානය කෝපි කිවත් එය නිවැරැදි යි. ඛනිජ තෙල්වලට පමණක් දෙවැනි වන කෝපි අළෙවිය දිනකට කෝප්ප මිලියන 1400 ක්, පමණ වන බවට ගණන් බලා තිබෙනවා. අමෙරිකාව ආසියාව අප්‍රිකාව ආදි රටවල බහුලවත් තවත් 70 ක ට අධික රටවලත් කෝපි වගා කෙරෙනවා. මෙරටට කෝපි වගාව හඳුන්වා දෙනු ලැබුවේ 1658 දී ලන්දේසීන් විසින්. ශාකය ඇරබිකා , රොබෝස්ටා ලෙසින් ප්‍රභේද දෙකකින් යුක්තයි.
අප්‍රිකානු සම්භවයක් සහිත රොබෝස්ටා බෝල කෝපි ලෙස හඳුන්වනවා. ගස් හා පත්‍ර මඳක් විශාලයි. පඳුරක් ලෙස ලොකුවට වැඩෙනවා. ඉතියෝපියානු සම්භවයකින් යුත් ඇරබිකා වඩාත් ගුණාත්මක ලෙස සැළකෙනවා. ශාකත් පත්‍රත් මඳක් කුඩායි. පත්‍ර දිලිසෙන සුළුයි. පොකුරුවල ගෙඩි වැඩියි. ඇට දිගටි යි.

17 සියවසේ බටහිර යටත් ව්ජිතවල ආර්ථික භෝගයක් ලෙස කෝපි වගාව පැතිර යාමත් සමග ඈඳුණු අපූරු පුවත් අසන්නට ලැබෙනවා. ඉන්දුනීසියානු දූපත් ප්‍රදේශවල ස්වදේශිකයන්ට කෝපි නෙළාගැන්මේ අවසරයක් නුවූයෙන් කලවැද්දන් කෝපි ඇට කා හෙළන වසුරුවලින් ඒවා ලබාගෙන පිරිසිදු කර, සකසා පානය කිරීමට ඔවුන් පුරුදුවුණා. ඒවා රසයෙන් සුවඳින් පමණක් නොව PH අගයෙන්ද වැඩි අගයක් උසුළන බව පසුව සොයාගැනුණා. ඉතා මිල අධික kopi luwak කෝපි විශේෂය බිහිවූයේ එසේ සත්ත්ව ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඒවා වඩා පලදායක කරගත් ක්‍රම වේදය අනුවයි. ඉන් කෝප්පයක් රුපි‍යල් දහදහසක් වෙනවා. අලි ජීර්ණ මාර්ගයෙහි ගමන් කළ,  කෝපි ඇට වලින් සැකසුණු බ්ලැක් අයිවරි කෝපි කෝප්පයක් රුපියල් අටදහසක් බව සඳහන්.

සිරුරේ ජෛව රසායන විස්මයජනක ලෙස අවදිකර සතුටු හද ගැස්ම ලබාදෙන අඩු මාත්‍රයක මත්ද්‍රව්‍යයකට සමාන ලෙසයි කෝපි පානය හඳුන්වනු ලබන්නේ. 17 සියවසේදී පිරිමි කෝපි හල්වලට වඩ වඩා ඇදීයාමත් සමග ඒවායේ කැෆේන් බහුලතාව නිසා ඔවුන් මළමිණී බවට පත්වෙතැයි බියපත්වූ ඔවුන්ගේ භාර්යාවන් කෝපිවලට එරෙහි ව්‍යාපාරයක්ද ගෙනගිය බව සඳහන්. එහෙත් කෝපි කෝප්ප 100 ක් වත් පානය කරන තෙක් එහි අඩංගු කැෆේන් මරණ තර්ජන ගෙනෙන්නේ නැහැ. කෝපිවල අඩංගු කැෆේන් සංයෝග හරහා සිරුරටත් මනසටත් ශක්තිය ලබාදෙන අතර ඊට විටමින් බී, රයිබොෆ්ලෙවින්, පැන්මෝනෙතික් අම්ලය, පොටෑසියම්, මැග්නීසියම්, මැන්ගනීස් නියැසින් ආදි පෝෂක ගණනාවක් සමග ප්‍රති ඔක්සිකාරක ගුණ ද එක්වනවා. එමගින් කය මනස නිරෝගි කරන කෝපි, අපේ මානසික පීඩනවල දී සැනසුම ගෙනෙනවා.

උදෑසන, කෝපි කෝප්පයක් පානය කිරීමෙන් සිතෙහි අප්‍රසන්න මානසික ස්වභාවයන් දුරුවී යනවා. කෝපි මානසික පීඩනයට ක්ෂණික ප්‍රතිකාරයක් බව පර්යේෂණවලින් තහවුරුවී ඇති අතර දිනක ට කෝපි කෝප්ප තුන හතරක් පානය කිරීමෙන් මානසික පීඩන ඇතිවීම 20% කින් වළකින බව බව ද හෙළිවී තිබෙනවා. දිනපතා කෝපි පානයෙන් දෙවන වර්ගයේ දියවැඩියාව ද මගහැරගැන්මට හැකියි. ඒවායේ ඇති poyphenol හා අම්ල මගින් සිරුරේ රුධිරගත සීනි මට්ටම පාලනය කෙරෙනවා. කෝපිවල අඩංගු cafestol , හා caffeic acid මගින් ඉන්සියුලින් ශ්‍රාවය වර්ධනය කරන අතර එමගින්, ග්ලූකෝස් වැඩිවීමෙන් ඇතිවිය හැකි අන්ධ බව හා ස්නායු රෝග වළක්වා දෙනවා. එය පාකින්සන් රෝගීන්ගේ චලන පාලනයට ත් උපකාරිවනවා. මොළයේ ප්‍රදාහ වැළැක්මට ඇති හැකියාවෙන් ඇල්ෂයිමර් රෝගය වැළඳීමට ඇති ඉඩ 20% කින් අඩුකරදීමට ද සමත්. එසේම කෝපි සීමාසහිතව ගැන්ම හර්දයටද හිතකර වන අතර එය හර්දය ආශ්‍රිත බොහෝ රෝග වළක්වනවා. හදවත් රෝග වැළඳීමේ අවදානම 11%කින් පහත හෙළනවා. ආඝාතය වැළඳීමේ අවදානම ද 20%කින් අඩුකර දෙනවා. කෝපි ප්‍රතිඔක්සිකාරක මගින් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ප්‍රදාහයත් වළකාලනවා. උදර ආබාධවලදී සහන සලසනවා.

එය උත්තේජකයක් මෙන්ම කැලරි දහනය කරන්නක් ලෙසද හැඳින්විය හැකියි. කෝපි පානය අධික ආහාර පරිභෝජනය වළක්වන අතර සිරුරේ බරත් අඩුකර දෙනවා. මේද දහනය කරන පානයන් අතරේ මුල්තැනක් කෝපිවලට හිමිවන්නේත් එහි ඇති කැෆේන් ප්‍රමාණය නිසායි. කැලරි අධිකව ලබාගත්තත් සිරුරට උරාගැන්මේ ප්‍රමාණය කැෆේන් මගින් බෙහෙවින් අඩුකරදෙනු ලබනවා. අමෙරිකාවේ ඇල්බාමා සරසවිය මගින් කෙරුණු අධ්‍යයනයකදී කෝපිවල සින්ක් බහුලතාව ඉක්මනින් වියපත් පෙනුමක් ලැබීම වළක්වා වඩා තරුණපෙනුමක් ලබාදෙන්නක් බවත්, එය පිළිකා අවදානම අඩුකිරීම, දීර්ඝායුෂ ලැබීම වැනි තවත් වාසි සිරුරට අත්කර දෙන බවත් සොයා ගනු ලැබුවා. වැඩි ම කාලසීමාවක් ජීවත්වී, ගිනස් වාර්තා පොතට ඇතුළත් වූ බළලකුගේ දීර්ඝායුෂ ලැබීමේ රහස ලෙස අනාවරණය වූයේ ස්වාමිදුව විසින් සුරතල් සතාට දිනපතා උදෑසන කෝපි බීමට ලබාදීමයි.

වකුගඩු රෝගීන්ට යහපත් ප්‍රතිචාර දක්වන කෝපි ඔවුන්ගේ ආයු කාලය ද දීර්ඝ කර දෙන්නක් බව සඳහන්. පෘතුගාල පර්යේෂකයන් පිරිසක් පුද්ගලයන් 2300 ක්, යොදාගෙන වසර 12 ක් තිස්සේ කළ හැදෑරීමකදී දිනකට කෝපි කෝප්ප තුන බැගින් පානය කිරීමෙන් , වකුගඩු රෝගීන් මියයන අවදානම 25% කින් අඩුකර ගත හැකි බව සොයාගෙන තිබෙනවා. කෝපි පිත්තාශයේ ගල් සෑදීම වළක්වන අතර එය අක්මාවේ ත් ආරක්ෂකයෙක්.
දිනකට කෝපි කෝප්ප තුන හතරක් බීමෙන් සිරෝසීස් හා non alcoholic fatty liver වැනි රෝගවලින් ඈත්වීමට මග පෑදෙන බව සඳහන්වෙනවා. 50%ක පිළිකා මර්දන හැකියාවක් ඇති බව සඳහන්වන කෝපි , අක්මාවේ පිළිකා වැළැක්වීමට සෑහෙන දායකත්වයක් දරන්නක්. රතු මස් අධිකව ආහාරයට ගැනීම, සිරුරට ව්‍යායාම නො දීම , ආදි අහිතකර පුරුදු නිසා ජීවිත කාලය අඩුවන අතර දිනකට කෝපි කෝප්පය බැගින්වත් පානය කිරීමෙන් ,එම අඩුව සීමාකරගත හැකි බව සඳහන් වෙනවා. හැබැයි පුරුද්දක් වශයෙන් නිතරම කෝපි බීම නම් කිසිසේත් සුදුසු නැහැ. දිනකට කෝප්ප 1-4 දක්වා පානය කිරීම එහි උපරිම සෞඛ්‍ය වාසි ලබා ගැන්මට ප්‍රමාණවත්.

සීත නිදිමත මෙන්ම විඩාවද එයින් දුරුකරගත හැකියි. එහෙත් අසීමිතව ගැනීමෙන් නින්ද අඩුවීම , විඩා දැනීම, ඇතුළු සිරුරට අහිතකර තත්ත්ව ගණනාවක් උදාවිය හැකියි. දුම් පානය කරන්නන්ට හා ව්‍යායාම රහිත අයට කෝපි පානයේ වාසි උපරිමව ලැබෙන්නේ ත් නැහැ. නිසි ලෙස නො පෙරෙන ලද කෝපි පානයෙන් කොලෙස්ටරෝල් මට්ටම ඉතා ස්වල්ප‍යක් වැඩිවිය හැකි බවට සඳහන් වන අතර එය ගැටළුවක් වන්නේ වැඩි පුර කුඩු දමා සැරට සැදූ කුඩා කෝපි කෝප්ප 5 ක් පමණ දිනකදි පානය කළ විටයි. සාමාන්‍යයෙන් පෙරා සැකසූ කෝපි කෝප්පයක කැෆේන් මිලි ග්‍රෑම් 100 ක් පමණ අඩංගුවන අතර දිනකට කැෆේන් මිලිග්‍රෑම් 400 ඉක්මවා ගැන්ම වැඩිහිටියන්ට හිතකර නොවන, බව සඳහන් වනවා. එසේම ගැබිණි කාන්තාවකට ,දිනකට කැෆේන් මිලි ග්‍රෑම් 200 ඉක්මවා යාම නුසුදුසු බැවින් කෝපි කෝප්පයකට දෙකකට වඩා බීම හිතකර නැහැ. අස්ථි බිඳීම් සහිත ඔස්ටියෝ පොරෝසිස් රෝගීන්ද කෝපි පානය සීමා කළ යුතු බව සඳහන්. අසාමාන්‍ය හර්ද ස්පන්දනය ඇති රෝගීන්ට කැෆේන් වලින් රුධිර පීඩනය මඳක් ඉහල යා හැකි බැවින් ඔවුන්ට ද කෝපි හිතකර නැහැ.

ලිපිය සැකැසුම නිර්මාණ අයිතිය – Indrakumari Rathnayake සතුයි.
(මූලාශ්‍ර හා සේයා රූ -අන්තර්ජාලය ඇසුරිනි)