සුවපත් නින්දක් ලබන්න, නින්දට පෙර මේ ක්‍රම අනුව භාවනාවේ යෙදෙන්න

දිනක් භාග්‍යවතුන් වහන්සේ අළවු රට සිංසපා වනයෙහි ගවයන් ගමන් ගන්නා මගෙහි පිහිටි ඇට්ටේරියා කොළ ඇතිරියක වැඩ සිටිසේක. එකල්හී හත්ථක ආලවක නමැත්තා ඒ අසලින් ඇවිදගෙන යන විට බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේ වෙත පැමිණ එක් පසෙක වාඩි වී “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, පෙරදින රැයෙහි සුවසේ නිදාගත් සේක්ද?” යනුවෙන් විමසීය.

එයට පිළිවදන් දුන් බුදුරජාණන් වහන්සේ, පෙරදින රැයෙහි තමන් වහන්සේ සුවසේ සැතපුන බවත්, ලොව සුවසේ නිදන්නන් අතර තමන්වහන්සේ ද එක් අයෙකු බවත් පැවසූ සේක. බුදුරදුන්ගේ පිළිතුරෙන් විස්මයට පත් හත්ථක ආලවක හිම වැටෙන රාත්‍රියෙහි ගොන්කුර නිසා රළු වූ බිමක ඉතා තුනී කොල ඇතිරියක ශීතල සුළඟට හසුව සුවසේ නිදාගත්තේය යනුවෙන් කෙසේ පැවසිය හැකිදැයි විමසී ය. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ හත්ථක ආලවකට කරුණු පැහැදිලි කරමින් ඔහුගෙන් මෙසේ විමසූ සේක. කිසියම් තැනැත්තෙකුට සියලු සැපතින් පිරි නිවසක් වේද, එහි මැනවින් සකස් කළ යහනක භාර්යාවන් සිව්දෙනෙකුගේ උපස්ථාන ලබමින් සැතපෙන අතර එම තැනැත්තා සුවසේ නිදන්නෙකැයි ඔබ විශ්වාස කරන්නේදැයි විමසූ සේක. එවැනි සැපතින් පිරි ආරක්ෂා සහිත යහනක සැතපෙන එම තැනැත්තා සැබැවින් ම සුවසේ නිදන්නෙකැයි තමා විශ්වාස කරන බව හත්ථක ආලවක පැවසී ය.

ඔහුගේ පිළිතුර අනුව තවදුරටත් කරුණු පැහැදිලි කළ බුදුන්වහන්සේ කායිකව හෝ චේතසිකව යම් රාගයකින් හෝ ද්වේෂයකින් හෝ මෝහයකින් එම තැනැත්තා පෙළේනම් සැපතින් පිරි සුවපහසු යහනක් ලැබුණත්, ඔහුට සුව නින්දක් ලැබිය හැකිදැයි විමසූ සේක. ආරක්ෂාව සහිත කොතරම් සුව පහසු යහනක් ලැබුණත්, එැවනි චිත්ත වේගයන්ගෙන් පීඩිතව සිටින්නෙකුට සුවපහසු නින්දක් අපේක්ෂා කළ නොහැකි බව හත්ථක ආලවක පිළිගත්තේ ය. තථාගතයන් වහන්සේ රාග දෝස මෝහ යන අකුශල සහගත සිතිවිලි මුලිනුපුටා දැමූ හෙයින් උන්වහන්සේ සුවසේ සැතපෙන බවත්, ඒ අනුව ලොව සුවසේ නිදන්නන් අතර උන්වහන්සේ ද එක් අයෙකු බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

බුදුරදුන් හා හත්ථක ආලවක අතර ඇති වූ මෙම සංවාදයෙන් වර්තමාන ලෝකයා මුහුණ දෙන සාතිශය බරපතල ගැටලුවක් විශද වේ. එනම් නිසි පරිදි නින්ද නොයැමේ ගැටලුව යි. මෙය පෙර අපර දෙදිග බොහෝ දෙනෙක් මුහුණ දෙන බරපතල ගැටලුව කි. නිසි පරිදි නින්ද නොලැබීමේ හේතුවෙන් මානසික ආතතිය මෙන්ම කායික ආබාධවලින්ද පුද්ගලයා පීඩාවට පත්ව තිබේ. එම ගැටලුව අවම කිරීම සඳහා විවිධ ආකාරයේ උපදෙස් හා ප්‍රතිකාර මෙන්ම ඖෂධ වර්ග ද සොයාගෙන තිබේ. එහෙත් බාහිරව ලබාදෙන මෙම ප්‍රතිකාරවලින් තාවකාලික සහනයක් ලැබුණත් දීර්ඝකාලීන සුවයක් අපේක්ෂා කළ නොහැකි ය.

බුදුරදුන් රැය පහන් කළ සිංසපා වනයේ පැවතියේ අතිශය දුෂ්කර පරිසරය කි. එහි පොළොව ගවයන් නිතර එහා මෙහා යාමෙන් රළු වී තිබිණි. උන්වහන්සේ සැතපුන කොළ ඇතිරිය තුනී එකකි. උන්වහන්සේ එහි වැඩම කළේ ශීත ඍතුව පැවති කාලයේ හෙයින් රැය පුරාම හිම වැටිණි. දැඩි ශීතල සුළං හමා ආවේය. එයින් ආරක්ෂා වීමට උන්වහන්සේ සතුව තිබුණේ තුන් සිවුර පමණි. මෙපමණ අධික ශීතල රැයක සුවසේ සැතපුණේ යැයි බුදුරදුන් පවසනු ඇසීම හත්ථක ආලවකට නම් සැබැවින්ම අරුමය කි. එහෙත් එවැනි උවදුරු කිසිත් නැති, සුවපහසු පරිසරයක පිහිටී සයනයක නිදන තැනැත්තෙකුට සුව නින්දක් නොලැබෙන්නේ ඇයි? එයට ප්‍රධාන හේතුව රාග, ද්වේෂ, මෝහ යන අකුශල සහගත චිත්තවේග ගණයට අයත් ආවේගවලින් ඔහුගේ සිත ආකූල වී ඇති හෙයිනි. එම චිත්තවේගවලින් මුළුමණින් ම මිදෙනතාක් සුව නින්දක් බලාපොරොත්තුවිය නොහැකිය. සුවපහසු සයනයක වැතිරී සිටියත් සිත නිරන්තරයෙන් ම රාගාදි ආවේගවලින් ආකුල වී ඇති නම් නින්ද අප සොයා නොපැමිණෙනු ඇත. රාග දෝස මෝහ සිතිවිලි ඇතිවන්නේ හේතුඵල සන්තතියකට අනුව ය. එය ආකාස්මිකව ඇති වන්නක් නොවේ. නගරය ප්‍රදක්‍ෂිණා කරන අවස්ථාවක තමන් දුටු රූමත් ස්ත්‍රියක් පිළිබඳ රාග සිත් උපදවාගෙන ඇය ගැන බලාපොරොත්තුවෙන් රැය නිදිවර්ජිතව පහන් කළ කොසොල් රජු පිළිබඳ පුවතක් ධම්මපදට්ඨකථාවේ දැක්වේ. රාගයෙන් දැවෙන සිතක් ඇති කෙනෙකු නිදිවර්ජිතව පීඩා විඳී අයුරු මෙන්ම, ඒ නිසා සිදුකිරීමට අපේක්ෂාකළ විනාශය එහි මැනවින් විවරණය වේ.

ඇතැම් විට සිතේ ඇතිවන රාග සිතිවිලි අතීතයට හා සම්බන්ධ වූ ඒවා විය හැකි ය. නැතහොත් අනාගතයට සම්බන්ධ වූ ඒවා වීමට පුළුවන. පුද්ගලයා හැම විටම ජීවත්වන්නේ අතීතය හෝ අනාගතය ගැන අවධානය යොමුකරමිනි. වඩා වැදගත්ම මොහොත වර්තමානයයි. එහෙත් එහි සිත රඳවා තබාගැනීමට බොහෝ දෙනෙකු ප්‍රයත්න නොදරයි. අතීතය ගැන දුක් වීමෙනුත්, අනාගතය ගැන සිහින මැවීමෙනුත් ඵලක් නැත. අධික ශීතල සුළං හමා එන රැයෙහි තුනී තණ ඇතිරියක සැතපුණු බුදුරදුන් සුව නින්දක් ලැබුවේ උන්වහන්සේගේ සිත රාගයෙන්, ද්වේෂයෙන් හෝ මෝහයෙන් ආකූල නොවූ බැවිණි. කොතරම් ශීතල පැවතුන ද, සිත කෙලෙස්වලින් මි¼දී ඇති හෙයින් උන්වහන්සේගේ සිතෙහි හමා ආ ශීතල සුළග සමග ඇලීමක් හෝ ගැටීමක් ඇති නොවීය. සිත සියල්ලෙන් නිදහස් වූ හෙයින් බාහිර පරිසරයෙන් ලැබෙන දෑ සම්බන්ධයෙන් කම්පනයක් උන්වහන්සේගේ සිතෙහි ඇති නොවුණි. ඒ අනුව සිත කෙලෙස්වලින් නිදහස් වූ තරමට එහි සංසුන් බව, තැන්පත් බව, නොසැලෙන ස්වභාවය ආරක්ෂා වේ. මෙත් සිත දියුණු කළ තැනැත්තෙකු සුවසේ නිදන්නේත් (සුඛං සුපති) සුවසේ අවදිවන්නේත් (සුඛං පටිබුජ්ඣති) නපුරු සිහින නොදකින්නේත් (න පාපකං සුපිනං පස්සති) ද්වේෂයෙන් සිත නිදහස්ව ඇති හෙයිනි. ඒ අනුව සුව නින්දක් ලැබීමට මෙත් සිත දියුණු කිරීම හේතුවන බව පැහැදිලි ය.

සැහැල්ලුවෙන් නින්දට යා හැක්කේ සිත නිදහස් වූ විට පමණි. සිත සැහැල්ලු කරගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරනු දක්නට ලැබේ. කවර ආගමකට අයත් වුවද නින්දට පෙර ආගමික වතාවත්වල නිරත වීමෙන් සිත සැහැල්ලු කරගැනීමට හැකි වේ. නින්දට පෙර මොහොතක් භාවනා කිරීම සිත සැහැල්ලු කර ගැනීමට ඇති තවත් එක් උපක්‍රමය කි. මෙහිදී ආනාපාන සතිය වැඩීම වඩාත් යෝග්‍ය වන්නේ එමගින් සිත වර්තමානයේ රඳවා ගැනීමේ හැකියාව වර්ධනය කරන හෙයිනි. සතර ඉරියව්වෙන් කවර ඉරියව්වක වුව පිහිටා මෙත්තා භාවනාව වැඩිය හැකි ය. නින්ද ලැබෙන තෙක් මෙස් සිත වැඩීම කළ හැකිය යන්න මෙත්ත සූත්‍රය අවසානයේ දැක්වේ. සක්මන් භාවනාව ද ඒ සඳහා යෝග්‍ය අභ්‍යාසයකි. සිහිනුවණින් අනුගමනය කළ හැකි මෙවැනි උපක්‍රම සුව නින්දක් ලැබීමට හේතුවේ.

එහෙත් බුද්ධ වචනය අනුව සෑබෑම සුව නින්දක් ලැබිය හැකි වන්නේ සියලු ආශා දුරුකළ, හදවත දවන වේදනා සංසිඳුවා සිතින් සංසුන් බවට පැමිණි තැනැත්තා ට ය. එවන් උතුමන් ලබන සුව දායක නින්දක් කාම රාගයෙන් ද්වේෂයෙන් හා මෝහයෙන් මුලාවූ තැනැත්තාට ලැබිය නොහැකි ය. කෙලෙස්වලින් සිත නිදහස් කරගත් පමණට ඒ හා සමාන සුවදායක නින්දක කොටස්කරුවෙකු බවට පත්විය හැකිය.

(කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ආචාර්ය උඩුහාවර ආනන්ද හිමි)
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)