දරුණු හදිසි අනතුරකදී සැණින් මිය යන අය නැවත උපදින හැටි

1957 මැයි මාසෙ එක් ඉරිදාවක ජෝන් පොලොක් නම් තැනැත්තාගේ දියණියන් දෙදෙනා වන 11 හැවිරිදි ජෙනීපා පොලොක් සහ හය හැවිරිදි ජැක්කිව්ලියන් දරුණු රිය අනතුරකින් මිය ගියා. සුරතල්කමින් සිත් පැහැරගන්නා වියේ පසුවූ මේ දැරියන් නැති නිවහන පාළු සොහොනක් තරම් වුණා. පොලොක් මහතාට මෙය දරාගන්නට බැරි තරම් වුණේ ඔහු ඒ තරමටම දරුවන් කෙරෙහි අප්‍රමාණ වූ සෙනෙහසකින් ජීවත්ව සිටීමයි. සිය බිරියගේ මානසිකත්වය හැඩගස්වා ගැනීමට මහත් අසීරුවන තරමට ඇය වඩාත් කම්පනයට පත්ව සිටියා.එංගලන්ත සමාජයේදී මේ කම්පනය ඒ හැටි දුර ඇදගෙන යන්නට තරම් පසුබිමක් නොතිබුණත් මේ දෙදෙනාට දරුවන් දෙදෙනා ගැන වූ මතකය සහ ඔවුන් මරණයට පත් වූ පසු ඇත්තටම ඉන්නේ කොහේදැයි දැනගැනීමේ කුහුලක් තිබුණා. උපතින්ම රෝමානු කතෝලිකයකු වූ ජෝන් පොලොක් මේ ගැන සිතා සිටියේ කුමන මාර්ගයකින් මේ තොරතුරු සොයාගන්නට හැකිවේදැයි කියලායි. මාස ගණනාවක් ගියත් ඔහුට මේ සඳහා මඟක් හමුවුණේ නැහැ.නොදැනුවත්වම කාලය ගත වුණා. හරියටම 17 මාසයකට පස්සේ ජෝන් පොලොක්ගේ බිරිය ගැබ් ගත්තා. ඇය ප්‍රසූත කළේ නිවුන් දරුවන්. දෙදෙනාම දූවරු. දරු දෙදෙනාගේ පරතරය විනාඩි 10යි. නිවුන් දරුවන් දෙදෙනාගේ පෙනුම මියගිය දරුවන්ගේ රූපවලට සමාන වීම පොලොක් දෙපළට කම්පනයක් ඇතිකළා. මේ ඉන්නේ අපේ මැරිච්ච දූවරුද? කියලා හිතුණා. එය වඩ වඩාත් තහවුරු වන්නට පටන් ගත්තේ දරුවන් දෙදෙනාගේ වර්ධනයත් එක්ක. ඔවුන්ගේ බාහිර ස්වරූපයන් තවදුරටත් මියගිය දරුවන් දෙදෙනාගේම වීම වූ නිසායි.

මෙහිදී පොලොක් මහතාගේ වඩාත් මවිතයට හේතු වුණේ ශීත කාලවලදී බාල දුවගේ නළලේ සිට දකුණු ඇහිබැමේ වම් කොන තෙක් විහිද ගිය ලපයක් පිහිටා තිබීමයි. එය හරියටම මියගිය බාල දුවණිය වූ ජැක්විලියන්ගේ එතැනම වූ ලපයට සමානයි. සාමාන්‍ය දිනවල ලපයක් වශයෙන් හඳුනාගත හැකි වුණත් ශීත දිනවල එය වඩාත් ඉස්මතුව පෙනෙන්නට පටන් ගත්තා. මෙම ලප කැළල මිය ගිය බාල දූ ජැක්විලියන්ගේ ඇති වූයේ ඇයට වයස තුනක් වෙද්දී වැටීමකිනුයි. එසේ ඇතිවුණු කැළලම එසේ පිහිටීම ගැන ඔහුට අදහාගන්න බැරි තරම් වුණා.මේ තොරතුරු ඔස්සේ පොලොක් මහතාගේ කුහුල වැඩිවන්නට පටන් ගත්තා. ඔහු මහත් අවධානයකින් සිය දූවරු කෙරෙහි පසු වුණා. මියගිය දුවණියගේ ළපැත්තේ ශතයක තරම් දුඹුරු පැහැයක ලපයක් තිබුණා. ජැක්විලියන්ගේද එසේම දුඹුරු පැහැගත් ලපයක් මතුවී තිබුණා. ඇය මියගිය දුවණිය වාගේ කාගේවත් කියාදීමක් නැතිව පැන්සලක් අතට අරන් ලියන්න පටන් ගත්තා. ඇය පැන්සලය අල්ලන්නේ දකුණු අතේ මැදැඟිලි අතරින්. මියගිය බාල දුවණියත් එසේම පැන්සලක් අතට අරන් ඒ විධියටම ලියන්නට උත්සාහ කළ අයුරු පොලොක් මහතාට සිහි වුණා.

දරුවන් දෙදෙනාගේ බාල දුවණිය ලප කැළැල් හා හුරු පුරුදුකම්වලින් මියගිය බාල දුවණියටම සමාන වුවත් වැඩිමහල් දියණියගේ බාහිර ලකුණුවලින් හඳුනාගන්නට පුළුවන්කමක් නොතිබුණේ මියගිය වැඩිමල් දුවණියගේද එවන් විශේෂයෙන් හඳුනාගත හැකි ලකුණු නොවුණු නිසායි. නමුත් ගමන, සිනාව සහ ගති පැවතුම් මියගිය වැඩිමල් දූ වාගේමයි. මියගිය දියණියත් තම නැඟණියගේ අතින් අල්ලාගෙන ඇවිදින්නට ආස කළා වගේ නැවත උපන් වැඩිමහල් දියණියත් කල්යත්ම එසේම කිරීම තවත් පුදුමයට හේතු වුණා.ටික කාලෙකට පස්සේ හොඳින් කතාබහ කරගන්නට දෙදෙනාටම පුළුවන් වුණාට පස්සේ දවසක් දෙදෙනා 1957 සිදුවූ ඒ මාරක රිය අනතුර ගැන තොරතුරු කතා කරගන්නවා සැඟවී අසා උන් පොලොක් මහත්මියට එය අදහාගන්නවත් බැරි තරම් වුණා. ඇය මේ අවස්ථාව පොලොක් මහතාටත් පෙන්වූවා. පුනරුත්පත්තිය විශ්වාස නොකරන රෝමානු කතෝලික භක්තිකයෙක් වූ පොලොක් මහතා තවත් උපක්‍රමයක් අනුගමනය කරන්න පෙලඹුණා.මියගිය දරුවන් දෙදෙනාගේ සඟවා තිබුණු සෙල්ලම් බඩු සියල්ල එළියට අරන් ඒවා කලවමේ එකට තබා දරුවන් දෙදෙනාට පෙන්වූවා. ඔහුට හොඳට මතකයි දරුවන් දෙදෙනාගේ සෙල්ලම් බඩු මොනවාද කියලා. පුදුමයක තරම දෙදෙනාම තම තමන් කාලයක් හුරුපුරුදුව සිටියා වගේ මියගිය දරුවන් දෙදෙනාගේ සෙල්ලම් බඩු පැහැදිලිව වෙන්කරගෙන සෙල්ලම් කරන්න පටන් ගත්තා.මේ සිදුවීම බටහිර පුවත්පත්වල පළවුණාම ඊට එරෙහි හේතු කියන්නත් එය බොරුවක් කියා කියන්නත් බොහෝ පිරිස් එකතු වුණා. බොහෝ අය රෝමානු කතෝලික අය. ඒ කොහොම වුණත් පොලොක් මහතා සත්‍ය වටහා ගත්තා. තමන් ඇදහූ ආගම කෙසේ වෙතත් ඇස් පනාපිට ඔප්පු වුණු සත්‍යය පිළිගන්නට සිතක් ඇතිකරගත්තා.මෙවන් සිදුවීම් කිහිපයක් අප රටෙත් වාර්තා වුණත් ඒ සියල්ල බෙහෙවින් මතවාදයට ලක් වුණත් පර්යේෂණාත්මකව ඉදිරියට ගෙන යන්නටත් එහිවන ගැඹුරු තත්ත්වයන් තේරුම් ගන්නටත් වැඩිපුර උනන්දුවක් ඇති වුණේ නැහැ.එසේ නම් දාහත් මාසයකට පස්සේ පොලොක් මහතා නොසිතුවක් සිදුවුණේ කොහොමද? කියන පැනය කා අතරත් කතාබහට ලක්වීම සාමාන්‍ය දෙයක්. මේ වනවිට අන්තරාභවයක් පවතින බවට වූ මතවාද ගැන බටහිර විද්‍යාඥයන් සෙවුම් බැලුම් කරමින් පැවැති නිසාම දාහත් මාසයක් යන තුරු හදිසි අනතුරකින් මියගිය පොලොක් මහතාගේ දරු දෙදෙනා අන්තරාභව තත්ත්වයේ පසුවී තියෙන්න ඕන. මාන්‍යයෙන් මෙවන් හදිසි අනතුරු වූ අවස්ථාවල ශරීරය තුළ ප්‍රාණය රඳවා තබා ගැනීමට නොහැකිවන සේ තැළී පොඩිවී සුනු විසුනු වී ගියානම් නැවත එම ශරීරය තුළට විත් ශල්‍යකර්මයකදී හෝ ඉන් පෙර අවස්ථාවකදී සිහිය එන්නට පුළුවන්. නමුත් පොලොක් මහතාගේ දරුවන්ගේ අනතුර ඉතා දරුණු එකක් මෙන්ම හදිස්සියේම ඇති වූ බරපතළ සිදුවීමක්. රිය අනතුර සිදුවූ සැණින් දරුවන් දෙදෙනා මියගොස් තිබෙන බව වෛද්‍ය වාර්තා සනාථ කරන නිසා මේ දරුවන්ට සිහිනයක් වැනි වූ මේ හදිසි මරණය කල්යල් බලා තවත් තැනකට තමන්ට අවශ්‍ය පරිදි යන්නට ඉඩක් සලසා නැහැ.

ශරීර දෙකෙන්ම දරුවන් දෙදෙනා අවකාශයට එක්වූ වහාම දෙදෙනාට සිදුවූ දේ පෙනෙන්නට දැනෙන්ට ඕන. එවන් මොහොතක සිට තම පියාත් මවත් පත්වන තත්ත්වයත් ඔවුන් අත්විඳින වේදනාවනුත් මේ අයට දැනෙන්ට පටන් ගන්නවා. සිදුවූයේ කර්මානුරූපීව සිදුවිය යුතුම දෙයක් නම් එය වළක්වාලන්නට නොහැකි දෙයක් බව මේ අයට හැඟෙන්නට ඕන. අන්තරාභවය තුළ සැරිසරන මේ දරුවන් දෙදෙනා පිළිබඳ නොදැන හෝ මවුපියන් විසින් සිත සිතා කල්ගත කිරීම චිත්තවේගයන් මඟින් යම් දැන්වීමක් බලපෑමක් කරන්නට බැරි යැයි කියන්නට බැහැ. සිතකින් මුදා හැරෙන චිත්ත ශක්ති වේගයන් අවකාශය තුළ හැඟීමක් දැනීමක් ඇති කරන්නට බලයක් ඇති විය හැකියි. දරු දෙදෙනා සම්බන්ධයෙන් සිතින් මුදා හැරෙන දුක සන්තාපය හා ළතැවුල වැනි හැඟීම් මෙන්ම මේ දරුවන්ට මොනවා වුණාද? මේ ගොල්ලෝ කොහේ ඇත්ද? යන්න සිතීම කාට නම් වළක්වාලන්නට පුළුවන්ද? එවන් චිත්ත ධාරාවන් ක්‍රියාකාරී වීම තුළ යම් බලපෑමක් ඇතිකරන්නට ඉඩකඩ තියෙනවා. කම්පනයට පත් මවුපියන් කරන කියන දේත් නිරතුරුව දරුවන් පිළිබඳ චිත්ත රූප මවා ගනිමින් ප්‍රාර්ථනා කරනදේත් බලපෑමක් ඇති කරන්නට බැරි නැහැ. එවන් ප්‍රාර්ථනා සහිතව කල් ගත කළ මවුපියන් කල්යත්ම දරුවකු පතා හෝ එසේ නොකොට සිටිනා කාලයක අන්තරාභවය තුළ සිටින දරු දෙදෙනාට නැවත තමන් වඩාත් ඇලුම්කරන තැනට එන්නට පුළුවන්. ඒ සඳහා වූ කර්මානුරූප අවස්ථාවක්ද ඉස්මතු වීම නිසා ඊට බාධාවකින් තොරව ගන්ධබ්බයන් වශයෙන් මවු කුස තුළ වූ කලල රූප ද්වයට එකතු වන්නට පුළුවන්. ඒ සඳහා ද්වීය තත්ත්වයක අවස්ථා හ¼දාගන්නටත් පුළුවන්. මෙහිදී ප්‍රබලව ඉස්මතු වන්නේ චිත්ත වේග අතර රැඳුණු සිතුවිලියි. එය වඩාත් ප්‍රබලව ඉස්මතුව දැනවීමක් කළොත් එවන් අවස්ථා ඇතිවිය හැකි බව මෙවන් සිදුවීම් පිළිබඳ පර්යේෂණ වාර්තා හා බෞද්ධ ඉගැන්වීම් අනුව පැහැදිලි වෙනවා.

කථාවත්ථු අටුවාවෙහි සඳහන්ව ඇති අන්තරාභවවාදීන්ගේ විස්තර කිරීමට අනුව අන්තරාභවයෙහි වූ සත්ත්වයා දිවැස් නැතුව දිවැස් ඇත්තකු විධියටද සෘද්ධි ඇත්තකු හැටියටද මවුපිය සමාගමයත් මවගේ සෘතු සමයත් බලමිත් සත් දවසක් හෝ වැඩි කාලයක් එහි ජීවත් වන බව කියැවෙනවා. එම අටුවාවම දක්වන ආකාරයට අන්තරාභවවාදයට අනුව සත්ත්වයකු අන්තරාභවයට පමුණුවන වෙනම කර්මයක් නැහැ. මැරුණු සත්ත්වයා ඊළඟ ආත්ම භාවයෙහි උපදින්නේ යම් කර්මයකින්ද අන්තරාභවයෙහි උපදින්නේත් ඒ කර්මයෙන්ම බවයි එහි සඳහන් වෙන්නේ. මෙම කාරණාව පොලොක් මහතාගේ දියණියන්ටද පොදු වූවක් බව පැහැදිලි වෙනවා. ඉහත විස්තරයේ සඳහන් දරුවන් දෙදෙනා මවුපියන්ගේ දැඩි කම්පනයත් බලාපොරොත්තු සහගත සෙවීමත් වන සිතුවිලි අතරින් නැවත ඔවුන් අතරටම එන්නට වූ බව පෙනෙන්නට තියෙනවා. භවය පුරා එක්වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම තමන්ගේම දරුවන් වී උපන්නොත් එහිදී ඇතිවන සෙනෙහස ඉදිරියට යන එකක් නිසා නැවත නැවතත් එම දරුවන්ට එම මවුපියන්ම හමුවන්නට පුළුවන් බැව් කියැවෙනවා. අන්තරාභවයක සිට නැවත උපත ලද පොලොක් දැරියන්ගේ කතා පුවත මෙන්ම අපේ රටේද වාර්තා වුණු මෙවන් පුවත් විමසා බලද්දී පැහැදිලි වන්නේ එලෙස විය හැකි බවයි. – එස්. රණසිංහ

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)