98% ක් ම නොදන්නා ධර්ම චක්‍රයේ ගැඹුරු අරුත මෙන්න

ධර්මය ගොනු කර, රථ රෝදයක ආකාරයෙන් ඉදිරිපත් කැරුණු සැලැසුම දක්වන ලිපියකි මේ. බුදු දහම සංකේතවත් කැරෙන මූලිකතම ලාංඡනය ධර්ම චක්‍රය යි. බුද්ධ – බෝසත් චරිත ප්‍රකට කිරීම සඳහා ක්‍රි.පූ. 3 වන සියවස වැනි ආදි යුගවලදී සිරිපතුල, චක්‍රය, ඇත් රූපය ආදිය භාවිත කළ බව සාන්චි – භාරුත් කැටයම් මගින් පැහැදිලි ය. ඒ යුගයේ චක්‍රය ධර්මයේ ආධිපත්‍යය ප්‍රකාශ කිරීමට අවශ්‍ය වූ ස්ථානවලදී ඉදිරිපත් කැරුණු බව මෞය¸ යුගයේ විශිෂ්ට කලා කෘති සේ පිළිගැනෙන සිංහ රූප සහිත ධර්මචක්‍ර ස්තම්බවලින් වටහාගත හැකි වේ.

අශෝක සමයට අයත් එකී සිංහ කුලුනුවල ශීර්ෂය ධර්මානුකූල පාලනය නිරූපණය සඳහා කොතරම් අපූරු දැ යි වටහාගත් ඉන්දීය දේශපාලනික පඬිවරුන්ට 1947දී ජාතික නිදහස ලබා ස්වෛරී – ස්වාධීන රාජ්‍යයක සංකේතය කුමක් විය යුතු දැ යි විමසන විට මේ අශෝක සිංහ කුලුනු හිස ඒ සඳහා ඉතා උචිත බැව් පෙනී ගියේ ය. ඒ අනුව ඉන්දීය කොඩියේ දැක්වෙන්නේ අශෝක ධර්ම චක්‍රය යි. පුරාණයේ සිට සිංහ රූපයෙන් පෙරපර දෙදිග සංකේතවත් කර ඇත්තේ තේජස, නිරවද්‍යතාව, තියුණු බුද්ධිය හා යුක්තිගරුක භාවය යි.

ඒ රූප අතර ධර්ම චක්‍රය නිර්මාණය කර, රාජ්‍ය ආඥාව චක්‍රයක් සේ භ්‍රමණය වෙමින් පැතිරී යන බවත්, එය ඒකාන්තයෙන් කායික හික්මීම, චෛතසික නිරවුල් බව හා ප්‍රඥාවෙන් තීරණ ගැනීම යන ගුණාංගවලින් සමන්විත වීමේ අවශ්‍යතාවත් සංකේතවත් කැරිණි. මෙයින් ප්‍රචණ්ඩ වූ ආධිපත්‍යය හෝ කුරිරු රාජාඥාව අනුමත නොවූ බව හා ධර්මය පදනම් කරගත් පාලනය පමණක් ම රජතුමා පිළිගත් බව පැහැදිලි වෙයි.

ධර්මාශෝක රජතුමා ධාර්මික රාජ්‍ය පිළිවෙතට හැරීම, මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ඇසුරු කිරීමෙන් වූ වෙනසක් බවත්, එතැන් සිට දිග්විජය අතැර ධර්ම විජය ආරම්භ කැරුණු බවත් පැහැදිලි කරුණකි. ස්මිත් වැනි බ්‍රිතාන්‍ය ඉතිහාසඥයන් පවා පිළිගෙන ඇත්තේ ධර්මාශෝක රජතුමා තරමට ධර්මිෂ්ට වූ වෙනත් රජ කෙනකු ගැන ලෝක ඉතිහාසයෙහි කියවා නැති බව යි.

බුදු දහමේ දියුණුවට හා ව්‍යාප්තියට සිදු වූ සේවාව සමඟ ධර්මානුකූල රාජ්‍ය පාලනයක් පවත්වාගෙන යෑමටත්, කූටෝපානයක් නොවූ සැබෑ සුහදතාවෙන් අසල්වැසි රාජ්‍යයන් සමඟ සබඳතා පවත්වාගැනීමටත් අශෝක රජු දැක්වූ උනන්දුව එතුමාගේ සැබෑ ධාර්මිකත්වය පිළිබිඹු කිරීමක් බව සෑම ඉතිහාසඥයකු ම පිළිගෙන ඇත. මේ රජු ධර්මය බලයක්, ශක්තියක් බව හා එය චක්‍රාකාර ව සංසරණය වන බව පිළිගෙන තිබේ. ඒ බව කාලිංග ගිරි ලිපිය ඇතුළු ශිලා ලිපි ගණනාවකින් ම පැහැදිලි කැරේ.

ධර්ම ශක්තිය චක්‍රාකාර බවත්, එය ජීවිතයේ සෑම අවස්ථාවක ම සංසරණය විය යුතු බවත් පැහැදිලි කළේ බුදු රජාණන් වහන්සේ ප්‍රථම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රය මගිනි. මෙම පළමු දේශනාව පවත්වා ඇත්තේ බුද්ධත්වයෙන් මාස දෙකහමාරක පමණ කලකට පසු ව ය.

බුදු බව ලැබීමෙන් පසු පළමු සතිය ධර්ම මනසිකාරය සඳහා (අවබෝධ කරගත් ධර්මය මුල සිට අගටත්, අග සිට මුලටත් සිහිපත් කිරීම), බුද්ධ ඤාණ පරීක්ෂාව (බුද්ධත්වය හා උපන් ඤාණ සම්භාරය එකිනෙක අත්හදා බැලීම) යන දෙකරුණට ගත විණි. අනිමිසලෝචනය, රත්නචංක්‍රමණය ආදි වූ සතිවලින් අවසන් සත්වැන්න ගයාවට ආසන්නයේ වූ කිරිපලු රුක් සෙවණේ සමාධි සුවයෙන් කල් ගෙවා ඇත.

සත්වන සතිය අවසන නැගී සිටි තථාගතයන් වහන්සේ, යළිත් එළු රංචු බොහෝ සෙයින් ලැග සිටින අජපල් නුගරුක මුලට වැඩ, “මා අවබෝධ කරගත් ධර්මය ලොවට ඉදිරිපත් කරන්නේ කෙසේ ද?” යනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළක අවශ්‍යතාවට යොමු වූහ. මේ වන විට බුද්ධත්වයෙන් මාස දෙකක පමණ කාලයක් ගත ව තිබිණි. නේරංජා නදී තීරය, ගයා වන ළැහැබ අතර වූ සිහිල් රම්‍ය ප්‍රදේශයේ හුදෙකලා වීම මුන් වහන්සේට ප්‍රයෝජනවත් වූයේ නිසල ජලයෙහි පියුම් මතු වන්නාක් බඳු නැවුම් සිතිවිලි ධාරාඋපදවාගැනීම සඳහා ය.

මතු කරගත් මුතු – මැණික් සම්භාරය අර්ථවත් ව සමාජ ප්‍රයෝජනය සඳහා යෙදවීමට සැලසුම් කරන, ඒ සඳහා පිරිස කවුරුන් දැ යි තෝරන දානපතියකු සේ බුදුන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය කොතනක, කවුරුන්ගෙන්, කවර ආකාරයකින් ආරම්භ කළ යුතු ද? යනු නිශ්චය කරගැනීමට මේ නිසල හුදෙකලා කාලය ප්‍රයෝජනයට ගත්හ. කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජී යන පස්වග තවුසන්, තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මුලින් ම ශ්‍රවණයට යෝග්‍ය ශ්‍රාවකයන් ලෙස බුදු රජාණන් වහන්සේට අදහස් පහළ වූයේ දෙකරුණක් නිසා ය.

ඔවුහු බෝසතාණන් වහන්සේ අතිදුෂ්කර ව්‍රත සමාදානවල යෙදුණ සමයෙහි ඉතා සමීප ව ඇප-උපස්ථාන කළ පිරිස වූහ. බෝසතුන් රජගහ නුවරට අයත් මහ වන පෙදෙසින් නික්ම ගයාවට පැමිණෙන විට, දැඩි පිළිවෙත් නිවනට මග නොවන බව හැඳින ඒවා අතැර පිඬුසිඟා වැඩ, ලද ආහාරයක් අනුභවය පටන් ගන්නවාත් සමඟ මේ පස්දෙනා “සිදුහත් කුමරු වැරදි මගට පිළිපන්නේ යැ” යි කියමින් එතුමන් අතැර මහා ගංගාවෙන් ද එතෙර වී උතුරට ගමන් කර ප්‍රසිද්ධ ඉසිපතනයේ වාසය සඳහා පිටමං වූ හ.

බුද්ධත්වනේ පසු ඔවුන් ගැන සිහි කරනා විට බුදුන් වහන්සේට පෙනීගියේ, තමා අතැර ගිය ද ඔවුන් හිතකාමී, නිවැරදි පිරිසක් ලෙසට ය. එය පළමු කරුණ විය. දෙවැන්න වූයේ පස්වග තවුසන් නිවරද මගට ගැනීමේ යුතුකමක් ද තමා වෙත පැවරෙන බව ය. ඔවුන් පස්දෙනා බෝසතුන් දුෂ්කර ක්‍රියාවේ යෙදුණු මහ වනයට යවන ලද්දේ පියාණන් වූ සුදොවුන් රජතුමා විසිනි. අනතුරුවලින් වළකා තවස් දම් රැකීමට ආධාර වනු පිණිස එවූ මොවුන් වරෙක ආරක්ෂකයන් ලෙසින් ද, තවත් වරෙක උපස්ථායිකයන් ලෙසින් ද කළ කටයුතු සිහිපත් කළ එතුමන්ට පස්දෙනාගේ මූලිකයා වූ කොණ්ඩඤ්ඤ තමා ළදරු කල දේහ පරීක්ෂාවට පැමිණි බමුණු ගුරුන් අතර වූ ළාබාල වූ ද, “බුදු වනු විනා අන් කවරකට හෝ පත් නොවන බව“ ස්ථිර ව පැවසූ මහා නුවණැත්තා බව ද සිහිපත් විය.

බුදුන් වහන්සේ ඔවුන් සොයා ඉසිපතනයට යෑමේ දීර්ඝ ගමනට පිළිපන්හ. අතරමග මුලින් ම හමු වූයේ උපක ආජීවකයා ය. මොහු ද ශ්‍රමණ සම්ප්‍රදායට අයත්, ජීවිතාන්තය දක්වා ව්‍රත සමාදානයෙන් කල් ගෙවන පූජකවරයෙකි. ගසක් යට සෙවණේ සමීප ව හිඳ කතාබහට මුලපිරූ උපක “ඔබ කොහි යන්නහු ද? කවර ආචාර්යවරයකු ගුරු කොට කවර පිළිවෙතක පිහිටියක්හු ද?” ආදි ප්‍රශ්න රැසක් විමසා සිටියේ ය. “මම ධර්ම චක්‍රය පැවැත්වීමට ඉසිපතනය බලා ගමන් කරමින් සිටිමි” යනුවෙන් උන් වහන්සේ පිළිතුරු දීම ආරම්භ කළහ (ධම්මචක්කං පවත්තේතුං). බුද්ධ ධර්මය චක්‍රාකාර බව පැවසෙන මුල් ම අවස්ථාව මෙය වේ.

ධර්මය ගොනු කර, රථ රෝදයක රූපාකාරයෙන් ඉදිරිපත් කිරීම සඳහා බුදුන් වහන්සේ සැලසුම් කළේ බුද්ධත්වයෙන් අනතුරු ව දෙමාසයක් පමණ වූ කාලයක් නේරංජරා නදිය අසබඩ ගයා තීර්ථයේ වැඩ සිටි සමයේ ය. බුද්ධකාලීන භාරතීය නානා ආචාර්යවරු ඔවුන්ට ඉදිරිපත් කිරීමට අවශ්‍ය වූ සමාජ දර්ශන සංකේතාත්මක ව රූපාකාරයෙන් දැක්වීමේ සම්ප්‍රදායකට හුරු ව සිටි බව ප්‍රසිද්ධ කරුණකි.

ක්‍රි.පූ. 8 – 4 අතර කාලය භාරතීය ආගමික හා දාර්ශනික චින්තකයන් රැසක් පහළ වූ කාලයකි. අබ්‍රාහ්මණික සම්ප්‍රදායේ මතවාදීන් බහුල වීමත්, තරගයට මෙන් ඒවා ඉදිරිපත් කිරීමත් සිදු වන විට, ජනයාට ඒ අතර විශේෂතා හඳුනාගැනීම පහසු කරනු පිණිස රූපමය සංකේත භාවිතය අවශ්‍යතම කරුණක් සේ සැලකිණි.

මේ සම්ප්‍රදාය ක්‍රි.පූ. 2000ට පමණ ඉහත වූ මොහෙන්ජොදාරො – හරප්පා ශිෂ්ටාචාර යුගයේ පවා භාවිත වූවක් බව පිළිගැනේ. පශුපති, ජගන්මාතා, ලිංගපූජා ආදි වූ ඇදහිලි හා සම්බන්ධ සංකේත ඒ ආදි යුගයේ භාවිතා වූ බවට සාක්ෂි ඇත. වෙසෙසින් ඉන්දීය සංස්කෘතියෙහි මුද්‍රා හා සංකේත භාවිතය සුවිශේෂ ලක්ෂණයකි. ජෛන මහාවීර ආචාර්යතුමන්ගේ අනුගාමිකයෝ සුපිපි නෙළුම් මලේ සංකේතයට ප්‍රණාම දැක්වීමට පුරුදු ව සිටියහ.

ක්‍රි.පූ. 3 – 2 සියවස්වල නිර්මාණය වූ බෞද්ධ සංකේතවල ප්‍රධානත්වය දරන ධර්මචක්‍රය බුදුන් වහන්සේ විසින් “ධර්මචක්‍රය පැවැත්වීමට ඉසිපතනය බලා ගමන් කරමි”යි කරන ලද භාෂිතය අනුව ඉන් සියවස් දෙක හමාරකට පමණ පසුව අශෝක අධිරාජයාගේ උපදේශයට අනුව නිර්මාණය විය. බුදුරදුන් මේ පළමු දේශනාවට වඩින ගමනේදී මුලින් ම හමු වූ උපක ආජීවකට “ධර්මචක්‍රය ප්‍රවර්තනය” කිරීම සම්බන්ධ ව කළ අවධානාත්මක ප්‍රකාශයට සමීප දහම් බෙර ලැවීම (ධම්ම භේරිංබරාපේතුං) සඳහා යන ගමනක් බව හා දහම් වැසි වැස්සවීම (ධම්ම මේඝ) සඳහා වූවක් බව ද පවසා තිබේ. “දහම් අමාව ලොව ගලා යෑමට සලස්වා ඇත. සවන් දෝතින් ගෙන එය පානය කරත්වා!” යන ආකර්ෂණීය දැන්වීමක් ද කර තිබේ.

දහම් බෙර ලැවීම, දහම් වැසි වැස්සවීම, අමා ගඟ ගලා යෑමට සැලැස්වීම යන සන්නිවේදන අතිශය ජනකාන්ත වුව ද බහුජන ආකර්ෂණයට බෙහෙවින් පාත්‍ර වූ ප්‍රකාශනය ධර්මචක්‍රය ප්‍රවර්තනය නොහොත්, “ලෝවටා ධර්මය භ්‍රමණය වීමට සැලැස්වීම” යන්න ය. මෙයට හේතුව “චක්‍ර ප්‍රවර්තන” යනු චක්‍රවර්තී රජතුමාගේ ධර්මාධිපත්‍යය යන ඉපැරණි භාරතීය රාජ්‍ය සංකල්පය සමඟ එක් මාවතේ ගමන් කරන්නක් වීම ය. සිදුහත් කුමරු සක්විති රජ වීමේ වාසනා ගුණ සහිත වුව ද, එම ආධිපත්‍යය අතැරදැමුයේ අලුයම හෙළන කෙළපිඬක් සේ යැ යි ධර්ම සාහිත්‍යයේ දැක්වේ. උන් වහන්සේගේ ලුහුබැඳීම වූයේ භෞතික සම්පත් සාධනය මගින් ප්‍රජාව පිනවීම නො වේ.

තමා විමුක්තියට පැමිණ සත්ත්ව ලෝකයාට ද ඒ මග හෙළි කර ඔවුන් ද පරම සුඛයට පත් කිරීම ය. මේ සඳහා සියලු ලෞකික බැඳීම් අතැරදැමීම (අභිනික්මන), වනගත ව බවුන් වැඩීම මගින් සත්‍ය සෙවීම (වානප්‍රස්ථ) අවශ්‍ය ම මාර්ගය බව සලකා එය අනුගමනය කළහ. මේ මග එකල භාරතීය වියත් ජනයාගේ ජීවන සම්ප්‍රදායයක් බවට ද පත් ව තිබිණි. බොහෝ පුණ්‍ය – බල – ඤාණ සම්පත් සහිත වූ කුලපුතුන් ලෞකික සැපත හැරදා බවුන් වැඩුමට වනගත වූ බවට වාර්තා ඇත. සිදුහත් කුමරුන්ගේ ප්‍රවේශය ද එක් වියත් ඤාණගවේෂි ගණයට අයත් වුව ද විශේෂතාව වූයේ ඒ බොහෝදෙනා තමන් කිසියම් ආචාර්යවරයකුගේ අතවැස්සකු බවට පත් වීමෙන් සෑහීමට පත් වුව ද, මෙතුවක් ගමන්මගේ අතරක නොසිට පරම විමුක්තිය ලබාගැනීම සඳහා තමා ම මෙහෙයවීම ය. මෙතුමන්ට කාලාම ක්ෂත්‍රිය පරපුරට අයත් ආළාර හා උද්දක රාමපුත්‍ර තවුසන් දෙදෙනාගෙන් චෛතසික ශක්තියේ උසස් තලයට නැගීමට මාර්ගය පෑදිණි.

උද්දක රාමපුත්‍ර විඥානය මගින් ලෝකය අල්ලාගැනීම (භෞතික හා චෛතසිකමය වශයෙන්) සපුරා අතහරින නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාධිය දක්වා චිත්ත ශක්ති වර්ධනයේ මාර්ගය පහදා දී එහි ඵලාධිගමයට ද උපකාර වූ හ. එහෙත් බෝසතාණන් ක්ලේශ ප්‍රහාණය (සපුරා කෙලෙස් දුරු කිරීම) හා බුද්ධ ඤාණය මෙම තවුසන්ගේ ප්‍රතිපදාවෙන් අත් නො වන බව තියුණු නුවණින් දැන, නේරන්ජරා නදී තීරයේ බෝධි මූලයට පැමිණියේ එම දෙකරුණ සාක්ෂාත් කරගැනීම සඳහා ය. බෝධි මණ්ඩපයේදී, බෝසතුන් ක්ලේශ ප්‍රහාණයට (කෙලෙස් දුරු කිරීමට) සමතෙක් විය. ඒ කරුණ විසිතුරු උපමාවකින් දක්වා ඇත්තේ, දිගුකලක් තිස්සේ ගේ හදන වඩුවා සොයමින් සිටි කෙනකුට හදිසියේ ම ඔහු දැක හැඳිනගැනීමට ලද අවස්ථාවක් ලෙස ය.

වඩුවා තෘෂ්ණාව ය. සසර ගමනේ නවාතැන් ගැනීමට ගෙවල් හදන මොහු හැඳිනගැනීම යනු තෘෂ්ණාවත්, එහි කාර්යයත් අවබෝධ කරගැනීම ය. සංසාරය ද චක්‍රයකි. එයට ගමන් කරන වේග ශක්තිය ලබාදෙන්නේ ද තෘෂ්ණාව යි. ගෙවල් හදන වඩුවා – සංසාර චක්‍රය – එය භ්‍රමණය කරන ජව ශක්තිය, මේ සියලු උපමා හා සංකේත අන් කිසිවක් නොව, තෘෂ්ණාව ම බව පහදාගත් බුදු රජාණෝ එය නැති කිරීම සඳහා ශක්තිමත් වන්නේ ධර්මචක්‍රය බව බුද්ධ ඤාණයෙන් අවබෝධ කරගත්හ.

ධර්මචක්‍රය ගරාදි අටකින් යුක්ත ය. යහපත් දැක්ම, යහපත් සංකල්පනා ආදි වූ කරුණු අට කේන්ද්‍රගත ව ඇත්තේ සීල – සමාධි – පඤ්ඤා නම් වූ, කාය – වාක් සංවරය, චිත්ත සමාධිය හා අනිත්‍ය – දුක්ඛ – අනාත්ම වශයෙන් ලොව දෙස බලන ප්‍රඥාවෙන් යුක්ත වීම යන ශක්තීන් මත ය. මෙහි පැවැත්ම රථ චක්‍රයක ගරාදි බොස්ගෙඩියෙහි සවි වී තිබෙන්නාක් වැනි එකිනෙකෙහි ආධාරයෙන් පවත්නා ස්වභාවයක් බව වටහාගත හැකි ය. ගරාදි – බොස්ගෙඩිය, පට්ටම එකිනෙකින් වෙන් කළ හොත් රථ චක්‍රයක් නොපවත්නා සේ, ආර්ය මාර්ගයට අයත් කරුණු අටත් සීල – සමාධි – ප්‍රඥාවෙන් එකිනෙකින් වෙන් කළ හැකි නො වේ. මේ චක්‍රයේ පැවැත්ම, මෙහි සංචරණය සිදු වන්නේ රවුමට සවි කරන පට්ටම නිසා ය.

චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය – සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ආදි වූ ධර්ම කාරණා මෙම චක්‍රයට අන්තර්ගත වූ එහි පැවැත්ම ස්ථිර කරන්නා වූ අංගයෝ ය. මේ උත්තරීතර මානව ධර්මයේ සංයුතිය ලෞකික – ලෝකෝත්තර සුබ සාධනය අපේක්ෂා කරන බැවින් චාරිත්‍ර වාරිත්‍ර වැනි සුළු කරුණක පවා යහපත් බව (සම්මා) අපේක්ෂා කැරේ. ආර්ය ශ්‍රාවකයා සෑම ඉරියව්වකදී ම, නින්දේදී පවා සිහි එළවා සිටිය යුතු යැ යි අවධාරණය කර ඇත්තේ, යහපත් දැක්ම (සම්මා දිට්ඨිය) සමඟ ඇවිදීම – සිටගෙන සිටීම වැනි ඉරියව්වක පවා සබැඳියාවක් පවත්නා නිසා ය.

බෝමැඬදී අවබෝධ කරගත් ධර්මය, මානව ජීවන ප්‍රතිපදාවේ චාරිත්‍රයක් වැනි සුළු කරුණක් සමඟ ද සම්බන්ධය පැහැදිලි කැරෙන ඥාන මාර්ගයක් නිසා ධර්ම චක්‍රයක් බව වටහාගත් බුදුන් වහන්සේ එය මුල් වරට හෙළි කළ යුත්තේ යම් ධර්ම ශක්තියක් ඇති පිරිසක් ඉදිරියෙහි බව තීරණය කළහ.

පස්වග තවුසන් ඉසිපතනයෙහි වෙසෙන බව දැනගත් එතුමෝ උපක ආජීවක හමුවේදී ඉසිපතනය බලා ගමන් ගන්නා බව පැවසුවේ ඉහත සඳහන් බෞද්ධ ජීවන ප්‍රතිපදාව නොහොත් ධර්ම චක්‍රය ප්‍රවර්තනය සඳහා වන උද්යෝගීමත් ගමන ගැන ය. දීර්ඝ – දුෂ්කර චාරිකාවක් වූ එය, රෝහිත වස්තු, උරුවිල්වා කල්ප, අරුණාලය, සාරථිපුර පසු කර ගංගා නදියෙන් එතෙර ව බරණැස් නුවරට යොමු වී තිබිණි. ඒ ගමනේ රාත්‍රි නවාතැන්පළවල දී නව හඳක් පායා එන බව කිහිප දිනකදී ම දක්නට ලැබිණි.

ආසාළ්හ මාස (ඇසළ මස) පුරහඳ ශාස්ත්‍රීය වූ ද විමුක්ති දායක වූ ද ධර්ම දර්ශන ප්‍රකාශන සඳහා ආශීර්වාද ලබා දෙන බව භාරතීයයන්ගේ පිළිගැනීමකි. එහෙත් බුදුන් වහන්සේගේ අභිප්‍රාය වූයේ සුදුසු බිමක ම (යෝග්‍ය පිරිසක් ඉදිරියෙහි) ධර්මචක්‍රය ප්‍රවර්තනය කිරීම ය. කෙසේ නමුත් උන් වහන්සේ ඉසිපතනයට පා තැබුයේ ජන විශ්වාසය වූ ආශීර්වාදාත්මක ඇසළ පුන් පෝ දා ය. බුදුරදුන් පස්වග තවුසන් වෙත වඩිනු දුටු විගස කායික වශයෙන් උන් වහන්සේ ප්‍රභාස්වර ව සිටිනු දැක, සිද්ධාර්ථ ගෞතමයන් තපසින් ගිලිහී, පිහිට පතා අප වෙත එතැ” යි කල්පනා කළහ.

උන් වහන්සේට ආගන්තුක සත්කාර කිරීමට පවා මැළි වූ ඔවුන් බුදු හිමියන් තමන් වහන්සේ බුද්ධත්වයට පත් වූ වග කිහිප විටක් පැවසුව ද විශ්වාස නොකළ අතර, නව සොයාගැනීමක් ඇතැයි කියූ විට එය ද අවඥාවෙන් බැහැර කෙරිණි. “මා කිසිදා ඔබ බොරුවෙන් රවටා ඇද්දැ” යි අසා තමන් වහන්සේගේ සත්‍යවාදීත්වය අතීත ප්‍රවෘත්තිවලින් පවා ගෙනහැර පෑමට උන්වහන්සේට මෙහිදී සිදු විය.

කෙසේ නමුත් පස්වග තවුසෝ මුන් වහන්සේ කුමක් පවසනු ඇද්දැයි විපිළිසර වූවෝ හිර බසිමින්, සඳ නැෙඟමින් ඉසිපතනය මිශ්‍රවර්ණ සහිත ආලෝකයෙන් නැවුම් අසිරියකට පත් වන මොහොතෙහි තුරුගොමුවක් පසුබිම් කරගත් සහන් එළියක කථිකයාණන්ට අසුනක් පනවා ඒ වටා චක්‍රාකාර ව පත්කඩ එළා හිඳගත්හ.

බුදුන් වහන්සේට පස්වග තවුසන්ගේ හැසිරීම හොඳට හුරු ය. ඔවුන් මේ මොහොතෙහි කර ඔසවා නෙත් දල්වා තමන් වහන්සේ වෙත ආකර්ෂණය වී සිටින්නේ පිට වන හැම වචනයක් ම හොඳින් අසාගැනීමට හා විමර්ශනයට ය. සැඳෑ යාමයේ, දිනයට නියමිත අවසන් ගීතිකා මහ හඬින් ගයන කුරවි කෙවිල්ලෝ ද බිමට නැමුණු අතුපතරෙහි ලැග මේ අමුත්තාගේ හඬ ඇසීමට නිහඬ වූ හ. තවුසන් හා මිතුරු දමින් කල්ගෙවන හා- මුවපොව්වෝ ද බුලත් හපමින් ඇස් අයා කන් යොමා අසල තැන්පත් වූ හ.

පරිසරයට නෙත්හෙළූ කථිකයාණන්ට සඳ නැඟෙන මේ යාමයේ ධර්ම චක්‍රය දියත් කිරීමේ මොහොත පැමිණ ඇති බව පැහැදිලි විය. එදින දියත් වූ ධර්මචක්‍ර දේශනාව නිමා වූයේ ආරම්භයේදී බුදුනට අවනත නොවූ කොණ්ඩඤ්ඤ සෝවාන් පලයට පත් වීමෙන් හා ඉතිරි සිව්දෙනා බුදු සව්වන් බවට පත් වීමෙනි. එතැන් සිට අතිදීර්ඝ කාලයක් ලොව සැරි සරන ධර්මචක්‍රය මිනිස් ප්‍රජාව උතුම් සීලාචාර බවට පත් කිරීමෙහි සමත් විය. ඉදිරි කාලයේදී ධර්මචක්‍රයේ අනුහස වඩ වඩාත් ලෝකයට දැනෙනු ඇත.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)